චිත්‍රපටය ඉතාමත් ප්‍රභල කලා මාධ්‍යයක්. ඒ විතරක් නෙවෙයි කර්මාන්තයක්. ලාංකේය සිනමාවට වාරණය යන පදය අමුතු දෙයක් නෙවෙයි. වාරණය යනුවෙන් හැඳින්වෙන්නේ දෝෂ පරීක්ෂාවටයි. යම්කිසි සන්නිවේදන මාධ්‍යයක තිබෙන දෝෂ නැතිනම් එහි තිබෙන යෝග්‍යතාවය පරීක්ෂාවට ලක්කරලා නොගැළපෙන දෑ තිබෙනවානම් ඒවා ඉවත් කරලා අනුමත කිරීම තමයි වාරණය මගින් සිද්ධවෙන්නේ. පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, වේදිකා නාට්‍ය, ජනමාධ්‍ය වගේම අනෙකුත් නව මාධ්‍යන් තුළත් යම් යම් හේතුන් නිසා වාරණයන් ක‍්‍රියාත්මක වෙනවා.

අද අපි කතාකරන්නේ මෙරට සිනමාවේ වාරණයන් ගැන. අපේ රටේ චිත්‍රපට වර්ගීකරණය සම්බන්ධයෙන් රැඟුම් පාලක මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා. යම් කිසි චිත්‍රපටයක් මහජන ප්‍රදර්ශනයට යොමු කරන්න කලින් ඒ චිත්‍රපටය සුදුසුද නුසුදුසුද කියලා පරික්ෂා කරලා සුදුසුනම් අනුමත කරලා වර්ගීකරණ සහතිකයක් නිකුත් කරනවා. වර්ගීකරණ සහතික U, X සහ A යනුවෙන් දක්වන්න පුළුවන්. ‘U’ සහතිකය අසීමිත මහජන ප‍්‍රදර්ශනයට සුදුසු යනුවෙන්ද, ‘X’ සහතිකය වැඩිහිටියන්ට පමණක් සුදුසු ලෙස සහ ‘A’ සහතිකය වැඩිහිටියන්ට වඩාත් සුදුසු යනුවෙන් වර්ගීකරණය කරනවා.

මේ විදියට වර්ගීකරණ සහතික නිකුත් නොකරන නුසුදුසුයි කියලා සලකන සිනමා නිර්මාණ වාරණයට ලක්වෙනවා. එසේ වාරණයන්ට ලක්වීමට හේතු වෙන ප්‍රධාන කාරණා තුන තමයි ලිංගිකත්වය, යුද්ධය සහ ආගම. නමුත් කිසියම් සිනමා නිර්මාණයක් තහනමකට ලක්වෙන්නෙ අනවශ්‍ය විදියට ලිංගිකත්වය මතු කර පෙන්වීම වගේම ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් බලපෑමක් ඇති කරන ආන්දෝලනාත්මක කරුණු  ඉදිරිපත් කිරීම වැනි සාධක හින්දම විතරක් නෙවෙයි. විවිධ දේශපාලන බලපෑම් නිසාත් සමහර විට බලධාරීන්ගේ නොදැනුවත්කම් නිසාත් සමහර සිනමා නිර්මාණ වාරණයට ලක් වෙනවා. අද අපි කියන්න හදන්නේ මේ විදියට යම් යම් හේතුන් නිසා ලංකාවේ තහනම් වුනු සිනමා නිර්මාණ කිහිපයක් ගැන.

අපේ රටේ සිනමා ඉතිහාසයේ පළමු වරට තිරගත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරපු චිත‍්‍රපටය විදියට සැලකෙන්නේ 1960 වසරේදී එල්.එස් රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කරපු ‘නළඟන’ චිත‍්‍රපටියයි.

1981 වසරේ දී ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු  ‘සාගරයක් මැද’ චිත්‍රපටය වඩාත් ආන්දෝලනයකට ලක්වෙලා තහනම් කරපු තවත් සිනමා නිර්මාණයක්.

1997 වසරේදී ප‍්‍රසන්න විතානගේ අධයක්ෂණය කරපු ‘පුරහඳ කළුවර’ චිත‍්‍රපටයට රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය හිමි වුණත් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන්න දේශපාලන බාධා එල්ල වෙනවා. හැබැයි 2001 වසරේදී මේ චිත‍්‍රපටය නැවත මහජන ප‍්‍රදර්ශනය ආරම්භ කරනවා.

අශෝක හඳගමගේ ‘අක්ෂරය’ සිනමා කෘතිය වඩාත්ම අන්දොලනාත්මකව වාරණයට ලක්වුනු තවත් චිත්‍රපටයක්. පියුමි සමරවීර, සහ ළමා නළු ඉෂාම් සම්සුදීම් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. මේ චිත‍්‍රපටයට වැඩිහිටියන්ට පමණයි වර්ගීකරණය යටතේ තිරගත කරන්න රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය හිමිවුනත් 2006 වසරේ දී ලබාදෙන අධිකරණ තීන්දුවකින් ප‍්‍රදර්ශනය කිරීම තහනම් කරනවා. දොළොස් හැවිරිදි දරුවෙක් සහ මවක් පෙනී සිටින රූප රාමු කිහිපයක් නිසා තමයි මේ විදියට මේ චිත්‍රපටය තහනමකට ලක් වෙලා තියෙන්නේ. ඒ වගේම දේශපාලනමය බලපෑමකුත් මීට එල්ල වුනා කියලා තවත් සමහර අය කියනවා. අක්ෂරය කිසි දිනක ලංකාවේ තිරගත නොවූ සිනමා නිර්මාණයක් ලෙස ඉතිහාසයට එක් වෙනවා.

සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කරපු ‘බොරදිය පොකුණ’ චිත්‍රපටය 2004 වසරේදී වැඩ අවසන් කලත් 2010 වසර වනතෙක්ම රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලැබෙන්නේ නැහැ. එත් 2015 වසරේදී මහජන ප‍්‍රදර්ශනයට මේ චිත්‍රපටය ඉදිරිපත් වෙනවා.

ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු ‘උසාවිය නිහඩයි’ කියන වාර්තා චිත‍්‍රපටය මෙරට සිනමාවේ වගේම නොයෙකුත් ක්ෂේත‍්‍ර ගණනාවකම කතාබහට ලක්වුණු මාතෘකාවක් වුණා. චිත‍්‍රපටයේ අන්තර්ගතය ගැන විරෝධය පළ කරපු හිටපු මහේස්ත‍්‍රාත්වරයෙක් මේ චිත‍්‍රපටයට එරෙහිව නඩුවක් ගොනුකරලා තිබුණා. කෙසේ හෝ නඩුව විභාග කලාට පස්සේ අදාළ වාරණය ඉවත් කර ගන්න සමත් වෙනවා.

සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිලෙන මාලුවෝ’ චිත්‍රපටයත් ඉතාමත්ම ආන්දෝලනයක් ඇති කරමින් තහනමට ලක් වුනු තවත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට එල්ල වුනු මුලිකම චෝදනාව තමයි හමුදා නිලඇඳුම් භාවිතා කරමින් හමුදාව අපකීර්තියට පත්කිරීම. ඊට අමතරව එල්.ටී.ටී සංවිධානයේ මුදල් ආධාර ලබා නිර්මාණය කරන ලද චිත්‍රපටයක් හැටියටත් මේ චිත්‍රපටයට චෝදනා එල්ල වුණා. මේ චිත්‍රපටයේ පිටපත් රාජසන්තක කරලා ශිල්පීන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීමකටද ලක්කරලා තිබුණා. මේ විදියට සමහර චිත්‍රපට තහනමකට ලක් වුණත්, අන්තර්ජාලය ඔස්සේ බහුතරයක් ඒ චිත්‍රපට නරඹලා තිබුණා. වාරණයට ලක්වෙන්න හේතු වෙන සාධක වලට අමතරව දේශපාලන බලපෑම් සමහර චිත්‍රපට වලට එල්ල වෙන එක නම් සිනමා කර්මාන්තයේ ඉදිරි ගමනට ලොකු බලබෑමක් ඇති කරන දෙයක්.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here