පෘථග්ජන ජීවිතයේ එක එක ආසාවන් පස්සෙ දුවන අපිට ජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්නට කවුරුන් හෝ කෙනෙක් උපදෙස් දෙන්නට ආවොත් අපිට නිකං ඒක හරි වදයක් වගෙ තමයි තේරෙන්නෙ. ලෞකික ජීවිතයේ ඇති සදාතනික නිර්මල සුවය සාමන්‍යයෙන් අපි වගේ බැඳීම් වලට කොටුවෙලා, ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙන ජිවිත වලට හරිම සංකීර්ණ දෙයක්. අපි දන්නවා වෙලාවකට අපි ඉන්නෙ හෙන ගිනි ගොඩක කියලා, අපි දන්නවා අපිට මේ ප්‍රශ්න වලින් ගැලවෙන්නත් ඕනෙ කියලා, හැබැයි මොකක්දෝ මන්දා හේතුවක් හින්දා අපි තාමත් ඒ දෙයින් ගැලවෙන්න බැරුව එක තැන හිර වෙලා ඉන්නවා. නමුත් මේ දේ යම් තාක් දුරකට හරි තේරුම් ගන්න මිනිස්සු ඕන තරම් මේ ලෝකයේ පෘතග්ජන ජීවිත ඇතුලෙ තමන්ගේ නිවන සොයන්නට වෙර දරනවා

බෞද්ධ ඉතිහාසයේ වනවාසී භික්ෂූන් වහන්සේලා ගැන අපිට ඕනෑතරම් කරුණු කාරණා අහන්න දකින්න ලැබෙනවා, මෑත කාලීනවත් ලංකාවේ බොහෝ වනවාසී භික්ෂූන් වහන්සේලා අපි අහලා තියෙනවා. නමුත් ඔබ කවදමහරි දවසක ලංකාවේ වැඩ වාසය කරන විදේශීය භික්ෂූන් වහන්සේලා ගැන අහල තියෙනවද? අද අපි කියන්න යන්නේ අන්න ඒ ගැනයි

ශ්‍රී ලංකාවේ නකල්ස් කදුවැටිය,කියලා කියන්නෙ දෙස් විදෙස් බොහෝ දෙනාගෙ අවධානය දිනාගන්න හරිම සුන්දර තැනක්. ඒ වගේම නකල්ස් අධිරක්ෂිතය වන සතුන් විසකුරු සර්පයන් සහ තවත් බොහෝ සත්ත්ව කොට්ඨාශ වලින් සපිරි තැනක්. ඉතින් මෙන්න මේ තරම් අවදානම් හැබැයි අතිශය සුන්දර නකල්ස් වන මැද බවුන් වඩමින් පිඩුසිඟා වඩිමින්, භාවනානුයෝගීව සිටින විදේශික භික්ෂූන් වහන්සේලා. පිරිසක් ගැනයි මේ කියන්න යන්නෙ

දකුණු අප්‍රිකාවේ තානියෝ සහ සර්බියාවේ අජාන් නයනමෝලි යන ස්වාමින් වහන්සේලා දෙනම මුල්ම වතාවට පැවිදි දිවියට පිවිසීමෙන් පසුව ශ්‍රී ලංකාවේ මෙම නකල්ස් කඳුවැටිය ආශ්‍රිතව වැඩ වාසය කරමින් සිටිනවා.ඉතාම සරල දිවිපෙවෙතක් ගත කරමින් බවුන් වඩන උන්වහන්සේලා වැඩවාසය කරන්නෙ උන්වහන්සේලා විසින්ම තනවාගත් කුඩා පැල්පත් ආදී කුටි සහ ගල් ලෙනවල් ආශ්‍රිතව තනවා ඇති කුඩා කුටි වලයි.

. “අපි එනකොට මෙහි කිසිවක් තිබුණේ නැහැ. ගොඩනැගිලි, ජලය හෝ මාර්ග නැහැ. අපි ආරාමය තනියම ගොඩනගා ගත්තෙ. ” යැයි අජාන් නයනමෝලි තෙර වැඩිදුරටත් පවසාතිබුනා
ථේරවාද බුදු දහම මෙන්ම මහායාන බුදුහහම තුළත් සමහර විනය නීති මගින් භික්ෂූන් වහන්සේලා ට පස හෑරීම තහනම් කර ඇති හෙයින්, උන්වහන්සේලා මෙහි සෑම දෙයක්ම සරලව හා සුන්දර ස්වාභාවික වටපිටාවට හානියක් නොවන පරිදි දේශීය ගිහියන් දෙදෙනෙකුගේ උපකාරයෙන් ක්‍රමානුකූලව ආරාමයක් දක්වා ගොඩනඟා ඇති බව තමයි සඳහන් වෙන්නේ

“හිල්සයිඩ් හර්මිටේජ්” ලෙස නම් කර ඇති මෙම ආරාමය පිහිටා තිබෙන්නේ නකල්ස් කඳු වැටියේ, මහනුවර සිට පැය තුනක දුරකින්.මුල් කාලයේදි මෙම ප්‍රදේශයට වැඩමවීමෙන් පසු සුදුසු ආරාමයක් සොයා ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයන් ගණනාවකින් පසුව, භික්ෂූන් වහන්සේලා දෙදෙනාගේ උවමනාව දැනගත් දේශීය බැතිමතුන් විසින් මෙම ස්ථානය පෙන්වා ඇති බවත් වාර්තා වෙනවා . ජීවිතයේ අනිත්‍ය තේරුම් ගනිමින් ස්වභාව සෞන්දර්‍යයෙ හිනිපෙත්තෙහි පවතින ශ්‍රී ලංකාවේ නකල්ස් කඳු වැටිය ජෛව විවිධත්ව උණුසුම් ස්ථානයක් වන බැවින්, මෙම භික්ෂූන් වහන්සේලා දෙදෙනා සැබැවින්ම මෙවැනි පරිසරයක ජීවත් වීමට ඉතා වාසනාවන්ත වන බව අවිවාදයෙන්ම කිව යුතුමයි

වර්තමානය වනවිට මෙම සුවිශේෂි ආරාමය වෙනුවෙන් දෙස් විදෙස් බැතිමතුන්ගේ අරමුදල්, ආරාමය නමට ඇති ගිණුමක් ඔස්සේ ලැබෙන අතර එය ගිහි භාරකරුවෙකු විසින් කළමනාකරණය කරනු ලබනවා. වර්තමානය වනවිට තවත් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් වැඩ වාසය කෙරෙන මෙහි කුටි සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඒවා නඩත්තු කිරීම වැනි වෙනත් වියදම් සඳහා මෙම අරමුදල් යෙදවෙන බවත් සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මෙම ස්වාම්නි වහන්සේලා දෙනම සමාජ මාධ්‍ය ඔස්සෙ ධර්මය පිලිබඳව දෙස් විදෙස් ගිහියන්ට ඇති ගැටලු වලට පිලිතුරු ලබාදෙමින් වර්තමානය වනවිට තම ධර්ම ප්‍රචාරණ කටයුතු කරමින් සිටිනවා.

දහසක් ආශාවන් මැද ගිහියන් අභිබවා පංචේන්ද්‍රයන් පිනවීමට වෙරදරන භික්ෂූන් වහන්සේලා සිටින සමාජයක, සියලු සැප සම්පත් අතහැර පිණ්ඩපාතිකව සොභාදහම සමඟ අනුගත වෙමින් ජීවත් වන භික්ෂූන් වහන්සේලාද අපේ සුන්දර රට තුල ජීවත් වෙනවා. ඉතින් මේ ඡායාරූප ඒවාට හොඳ උදාහරණ සපයනවා.

ලංකාවෙ අපේ ගතිය සාමාන්‍යයෙන් මේ වගේ තැනක් දැක්කම එක රොත්තට ගිහින් මේ තැන් විනාස කරන එක. ඉතින් අපි ලෝකයෝ කණ්ඩායම ඔබෙන් බොහොම ආදරයෙන් ඉල්ලන්නෙ මේ ස්වාමින් වහන්සේලාගේ නිදහසට බාධාවක් වෙන හින්දා මෙහි යන්න අදහස් කරන්න…එපා

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here