කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ට විවිධාකාරයෙන් කට කතා ආදිය පැතිරෙනවා. මේ දින වල රංගන ශිල්පිනී වොල්ගා කල්පනීටත් ඒ වගේ විවිධ කතා වලට මුහුණ දෙන්න සිදු වෙලා. මෙවර අපි සඳැල්ලෙන් ඇය වෙනුවෙන් ඉඩක් වෙන් කළා. 1. මේ දින වල රංගන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද?  පසුගිය කාලේ විකාශය වුණු ටෙලි නිර්මාණ කිහිපයක් තිබුණා. පැණි කුරුල්ලෝ, හුස්ම වැටෙන මල් සහ සුළඟ මහ මෙරක් යන ටෙලි නිර්මාණ වල ඒ චරිතයන්ට හොඳ ප්‍රතිචාරයක් තිබුණා. එහිදි මට ගොඩක් ප්‍රවීණයන් එක්ක තමයි වැඩ කරන්න ලැබුණෙ. ඉතින් හරි ආසාවෙන් වැඩ කළා. මේ දින වල නම් මම සම්බන්ධ වුණු නිර්මාණ විකාශය වෙන්නේ නැහැ. නමුත් උරුමක්කාරයෝ නාට්‍යයේ නැවත විකාශයක් සිදු වෙනවා. ඊට අමතරව මම සම්බන්ධ වුණු ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම් ආරම්භ කරලා තියෙනවා. ඒ අතරින් දේදුණු වර්ෂා නාට්‍යයේ කොටස් 15 මේ වෙද්දි රූගත කිරිම් අවසන් කරලා තියෙනවා. ඉතිරි කොටස් රූගත කිරීම් කරන්න සූදානමින් ඉන්නවා.

2.පුංචි තිරයට අමතරව සිනමාවට වේදකාවට සම්බන්ධ වෙන්න අලුත් අවුරුද්දෙ අවස්ථාවක් ලැබුණෙ නැද්ද?  ඇත්තටම මම එක සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. ඒ අත්දැකීම ගොඩක් වෙනස්. ඒ දේට මම ගොඩක් කැමතියි. ඉතින් මගේ ජිවිතේට ලැබුණු ලොකු අවස්ථාවක්. එවැනි අවස්ථාවක් මේ වසරේත් ලැබිලා තියෙනවා. සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක සාකච්ඡා මට්ටමින් යන්නේ කොපමණ කාලෙකින් සිදු වෙයිද දන්නේ නැහැ. එතකොට වේදිකාව පැත්තෙන් කතා කළොත් මම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට පොඩි කාලෙදි සම්බන්ධ වුණාට පසුව මට වේදිකාව මඟ ඇරුණා. පසුගිය කාල වකවානුවේ වේදිකාවට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. නමුත් එක දිගට වැඩ යෙදුණ නිසා මට ඒ දේට යොමු වෙන්න බැරි වුණා. ප්‍රවීණයන් දෙන්නෙක් වගේ කියලා තියෙනවා වේදිකා නාට්‍යයක් කරමු කියලා. නමුත් විශේෂ ආරාධනාවක් නම් තවම ලැබුණෙ නැහැ. 3. රංගන ශිල්පිනියක් වෙන්න වොල්ගාට හීනයක් තිබුණද? පුංචි කාලෙ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල වල නාට්‍ය කරන කාලේ ප්‍රතිභා කියලා අයියා කෙනෙක් තමයි මාව මුලින්ම අතුරු මිතුරු කියන ළමා වැඩසටහනට යොමු කළේ. ඉතින් ඊට කලින් අපි පොඩි කාලෙදි කව්රු වෙන්නද කැමති කියලා ඇහුවම මම කිව්වේ නීතිඥවරියක් වෙන්න කැමැතියි කියලා. ඒත් ටිකින් ටික කලා ක්ෂේත්‍රයට නැඹුරු වුණාම මට හිතුණෙ රංගන ශිල්පිනියක් වෙන්න. මම අහම්බෙන් රංගන ශිල්පිනියක් වුණ කෙනෙක් නෙමෙයි. පෙරුම් පුරලා කැමැත්තෙන් ම තමයි මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ.

4.වොල්ගා පෙම්වතිකයක් වෙලා කියලා ආරංචියි?  ඔව්. ඒක ඇත්ත. 5. අලුත් ආදරේ ගැන කතා කරමු?  ඔහු බිනෝෂ් පීරිස්. සංගීතය කරන්නේ. ක්ෂේත්‍රයට නවකයෙක් ඉදිරියේදී ඔහුගෙන් සංගීතය පැත්තෙන් ගොඩක් දේවල් දැක බලා ගන්න හැකි වෙයි. 6. ඔහු විවාහක පුද්ගලයෙක්. හොඳට තිබුණු පවුලක් කඩලා තව පවුලක් හදා ගන්න යනවා කියලා කතාවක් යනවා නේද?  ඇත්තටම මම ඒ ගැන කතා කරන්න කැමති නැහැ. මම දැක්කා සමාජ මාධ්‍ය තුළ මේ දේවල් දාලා තියෙනවා. මට ආදරය කරන අය මගේ ගැන හොඳට දන්නවා. ඒ නිසා මට පුංචි පුංචි පහත් කතා කියන අයට දෙන්න උත්තරයක් නැහැ. එක කසාදයක් තියාගෙන ඒ කසාදෙ ඇතුළෙ පෙම්වතුන් පෙම්වතියන් තියාගෙන ඉන්න රටක්නේ මේ. මම කළේ දික්කසාද වෙලා තව කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගත්ත එක. එහි වරද මොකක්ද කියන්න මම දන්නේ නැහැ. විශේෂයෙන් මම ප්‍රේක්ෂකයන්ට කියන්න ඕනෑ. හිඟමන් යදින ගොසිප් සයිට් වලට රැවටෙන්න එපා. මොකක් දෝ දේකට සංවිධානාත්මක පිරිසක් මේ විදියට මඩ ප්‍රහාර එල්ල කරනවා. ඒවා කරන්නේ කව්ද කියන දේත් මම නොදන්නවා නෙමෙයි. මම දන්නවා.

7.පසුගිය දින වල වොල්ගාගේ සහ බිනෝෂ්ගේ විඩීයෝ ක්ලිප් එකක් ආන්දෝලනාත්මක කතා බහකට ලක් වුණා නේද? ඒ වීඩියෝ ක්ලිප් එකේ මම පිට මනුස්සයෙක් එක්ක ඉන්නේ නැහැ. ඒ මගේ ඇත්ත පෙම්වතා. ඔහු එක්ක හිටපු වීඩියෝවක් නමුත් එම වීඩියෝව එළියට ගියේ කොහොමද කියන දේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එය එළියට දුන්නු කෙනා හෝ දාපු කෙනා මොන විදියෙ සතුටක්. බලාපොරොත්තු වෙනවද කියලා දන්නේ නැහැ. ඒ වීඩියෝව බොරු එකක් නෙමෙයි. ඒක ඇත්ත එහි ඉන්නේ මම සහ බිනෝෂ්. ඒ වීඩියෝව අපි ගත්තේ අවලංගු කාසියක් කියන මියුසික් වීඩියෝවට. නමුත් අපි ඒ සඳහා යොදා ගත්තේත් නැහැ. ඒ වීඩියෝවෙන් හම්බ කරන් කාපු අයට අපි පිනක් කළේ. මොකද ඒ අය අපේ වීඩියෝව ඒ චැනල් වලදාගෙන ෂෙයා කර ගෙන සල්ලි හම්බ කර ගත්තා. 8. වොල්ගාගේ ජීවිතේට හරි ආදරයක් ලැබුණා කියලා විශ්වාස කරනවද?  මම සාමාන්‍යයෙන් ආදරය කරන්නේ කෙනෙකුට දෙයක්. කරන්නේ අනිත් අතට බලාපොරොත්තුවෙන් නෙමෙයි. හැමදාම මම කරන දේ හරියට කරපු කෙනෙක්. ඒ වගේම කරන දේ හරියට කරන කෙනෙක්. ඉතින් මම කරන දේ හරියට කර ගෙන ඉන්නවා. ජීවිතේ කාලෙන් කාලෙට වෙනස් වීම් සිදු වෙනවා. මගේ ජීවිතේට ඒ දේවල් සිද්ධ වුණා. මිනිස්සු තීරණයක් ගද්දි හිතන්නේ නැහැනේ. මේ දේ වැරදියි කියලා ඒකනේ ඇත්ත කතාව. මගේ උප්පැන්න සහතිකේ මම බෞද්ධයෙක්. නමුත් මම බුදු හාමුදුරුවෝ ජේසුතුමා හැම ආගමක්ම අදහනවා. මම හිතන්නේ අපිට ලියවුණු කතාවක් තියෙනවා. ඒ කතාවෙ විදියට අපිට වෙන සිදුවීම් සියල්ල සිදු වෙන්නෙ. ඒ හැම දේම අපිට භාර ගන්න පුළුවන් වෙන්න ඕනෑ.

9.ජීවිතේ ගත්තු සමහර තීරණ ගැන අද වෙද්දි පසු තැවෙනවද?  නැහැ. මට දැන් අවුරුදු 30 ක් මම මගේ ජීවිතේ මේ වෙන කම් ගත්තු සුළු තීරණයටකවත් පසු තැවෙන්න නැහැ. මම හැමදාම සතුටින් ජීවත් වුණු කෙනෙක්. දුක් වුණු තැන් තිබුණා කියලා මගේ ජීවිතේ නැහැ. පසුගිය කාලය තුළ මගේ ජීවිතේට අත්දැකීම් ගොඩක් එකතු වුණා. ඒකත් බොහොම සුන්දර විදියට මට දැනෙන්නේ. 10. ඉදිරි වැඩ කටයුතු ගැන කොයි වගේ සැලසුමක් ද තියෙන්නේ? ටෙලි නාට්‍ය වලට අමතරව නම් අලුත් වැඩ කටයුත්තකට අත ගහලා තියෙනවා. ඒ වගේම ළඟදීම විවාහයත් සිද්ධ වෙනවා. ඉතින් මේ හැමදේම එක්ක ජිවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here