”විෂ ඝෝර සර්පයා අත නාරු මෝඩයා” යැයි පැරණි සිංහල කියමනක් තිබේ. අපේ පැරැන්නන් එසේ කියා ඇත්තේ අතහරින සර්පයා නැවත ඒ තැනැත්තාටම දෂ්ට කිරීමට ඉඩ ඇති හෙයිනි. අප එසේ වුවත් චීන ජාතිකයන් බොහෝ දෙනෙක්ද සර්පයන් දුටු විට කිසිදා ඔවුන් අතහරින්නේ නැත. ඒ නැවත දෂ්ට කරනු ඇතැයි යන බිය නිසා නොවේ. විෂඝෝර සර්පයා පවා ප‍්‍රනීත ආහාරක් කොට ගැනීමේ චීන ජනතාවගේ පුරුද්ද නිසාවෙනි.

 චීනයේ වූහාන් පළාතෙන් ඇරඹී කෙටි කාලයකින් ගෝලීය තර්ජනයක් බවට පත්වූ කොරෝනා වෛරසය හේතුවෙන් නැවතත් සංකීර්ණ සහ ඇතැම් විට පුදුම සහගත චීන ආහාර රටාවන් පිළිබඳ නව කථිකාවක් ලොව පුරා ඇතිවී තිබේ. වවුලන්, සර්පයන්, කැරපොත්තන්, මීයන්, සිකනලූන් සහ

 ගෝනුස්සන් ආදී විෂ සහිත මෙන්ම එසේ නොවන, බොහෝ විට පිළිකුල් සහගත ලෙස සලකන සතුන් ප‍්‍රනීත ආහාර ලෙස සකසා
 ගන්නා අරුම පුදුම චීන ආහාර රටාවන් පිළිබඳ විමසා බැලීම කාලෝචිත මෙන්ම කුතුහලය දනවන සුළු කාර්යයකි.

ශරීරය උණුසුම් කරන සර්ප සුප්
 

 ශතවර්ෂ ගණනාවක් ඈත අතීතයේ සිට චීන ජනතාව සර්පයන් ආහාරයක් ලෙස පිළියෙල කර ගැනීමට පුරුදු වී සිටියහ. සර්පයාගේ මාංශ යොදා පිළියෙල කරගත් සුප් චීනයේ ජනප‍්‍රිය ආහාරයක් වන අතර විශේෂයෙන්ම චීන වෛද්‍ය විද්‍යාවට අනුව ශීත කාලයේ ශරීරය උණුසුම් කිරීමේ ”යැං” ගුණය සර්ප සුප්වල ඇතැයි ඔවුන් විශ්වාස කරනු ලබයි. (යිං සහ යැං යන එකිනෙක හා බැඳුන ද්විත්ව ශක්තිය පිළිබඳ සංකල්පය චීන සංස්කෘතියේ බොහෝ අංශවල ඈත අතීතයේ සිට පිළිගනු ලබන අතර චීන ආත්මාරක්‍ෂක සටන් පංතිවල ප‍්‍රදර්ශනය කෙරෙන රවුමක් මැද පිහිටි කළු සුදු දිය රැලි දෙකක් ආකාරයේ සලකුණ මෙම ද්විත්ව ගුණය නිරූපනය කරයි.) ආත‍්‍රයිටිස් වැනි රෝග සුව කිරීමට මෙන්ම වාජීකරණ ශක්තිය වර්ධනය කිරීමට සමත් ඖෂධීය ගුණයක් සර්පයා තුළ ඇතැයි ද විශ්වාස කෙරේ. මෙනිසා ශීත කාලයේ සර්ප සුප් වලට ඇති ඉල්ලූම බොහෝ සේ ඉහළ යන ආකාරයක් චීනයේ දකින්නට පුළුවන.

 කෝබ‍්‍රා හෙවත් නයා, පයිතන් හෙවත් පොළඟා සහ දිය නයින් සර්ප සුප් සඳහා බහුලව භාවිතා වන විශේෂයන් වන අතර විෂ සහිත බෑන්ඞ් ක‍්‍රයිට් සහ චීන නාගයන් ද ඇතැම් විට සර්ප සුප් සඳහා භාවිතා වේ. ප‍්‍රනීත රසයක් ලබා ගැනීමට සහ විවිධාංගීකරණය සඳහා ඉරා ගන්නා සර්ප මස් තීරු සමග කුකුල් මස් මිශ‍්‍ර කර ගැනීමද බොහෝ විට සිදුකරනු දකින්නට ලැබෙන අතර සර්ප මස් බොහෝ විට කුකුල් මස් වලට සමාන රසයක් ගෙන දෙන බව කියනු ලැබේ. විවිධ කුළුබඩු වර්ග ඉඟුරු සහ ලෙමන් කොල හෝ කොත්තමල්ලි කොල වැනි අතිරේක ද්‍රව්‍ය රසය සහ රුචිකත්වය වැඩිකිරීම සඳහා යොදාගනී.

 පාරිභෝගිකයන් සඳහා සර්ප සුප් පිරිනමනු ලබන බොහෝ චීන ආපනශාලාවන්හී නාමපුවරුවල ”සර්ප රජ” යන නමා විශේෂීකරණය චීන භාෂාවෙන් සටහන් කර තිබෙනු දකින්නට ලැබෙන අතර ලී පෙට්ටි වල හෝ යකඩ දැල් සහිත පෙට්ටිවල පණ ඇති සර්පයන් කිහිපදෙනා බැගින් රඳවා තැබේ. එසේ රඳවා ඇති සජීවී සර්ප එකතුවෙන් තමන් කැමති සර්පයා තෝරාගැනීමෙන් අනතුරුව මිනිත්තු කිහිපයකින් දුම් දමන සුප් බඳුනක් බවට සර්පයා පත්කර දීමට මේවායේ සූපවේදීන් සැදී පැහැදී බලා සිටී. ජනප‍්‍රිය හොංකොං සහ චීන අවන්හල්වල ප‍්‍රනීත සර්ප සුප් බඳුනක් ඇමෙරිකානු ඩොලර් 7.5 ක සාමාන්‍ය මිලකට ලබාගත හැකිය.

රසවත් ආහාරයක් වන ගෙඹි කකුල්

ගෙම්බන්ගේ කකුල් චීනය මෙන්ම ප‍්‍රංශය, එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය වැනි බටහිර හා යුරෝපා රටවලත් රුමේනියාව, ඇල්බේනියාව, ස්ලෝවේනියාව වැනි නැගෙනහිර යුරෝපා රටවලත් වියට්නාමය, තායිලන්තය, කාම්බෝජය වැනි නැගෙනහිර ආසියානු රටවලත් රසවත් ආහාරයක් ලෙස පරිභෝජනයට ගනු ලැබේ. මෙක්සිකෝව සහ බ‍්‍රසීලය වැනි දකුණු ඇමෙරිකා රටවලද කැලෑබද ඇතැම් ගෙඹි වර්ග ආහාරයට ගනී.

 ගෙම්බන්ගේ මාංශ ප්‍රෝටීන්, ඔමේගා 3 මේද අම්ල, විටමින් ඒ සහ පොටෑසියම් වලින් පොහොසත් බව ආහාර විද්‍යාඥයන් විසින් ප‍්‍රකාශ කරන අතර කුකුල් මස් මෙන් ප‍්‍රනීත රසයක් ගෙනෙන බවත් කුකුල් මස්වලට වඩා මෘදු ස්වභාවයක් ගන්නා බවත් රසවිඳින ලද පුද්ගලයන් ප‍්‍රකාශ කරයි. ආහාර සඳහා ගෙම්බන් අපනයනය චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය ඇතුළු රටවල් කිහිපයකට විදේශ ආදායම්

 ගෙනෙන මාර්ගයක් වී ඇති අතර ඉන්දුනීසියාව එහි වැඩි කොටසට අයිතිවාසිකම් කියයි. චීනය වියට්නාමය වැනි රටවල වාණිජ අරමුණු සඳහා ගෙම්බන් ඇතිකරන ගෙඹි ගොවිපළවල් පවත්වාගෙන යෑමද දකින්නට ලැබේ.

 ආහාර සඳහා භාවිතා කරන ගෙම්බන්ගේ කකුල් උන් පණ පිටින් සිටියදීම ගලවා ගනු ලැබේ. අනතුරුව තම්බාගනු ලබන මේවා කුකුල් මාංශවල ඩ‍්‍රම්ස්ටික් ආහාරයට ගන්නා ලෙසින් කුළුබඩු මිශ‍්‍රකර බැද හෝ තෙම්පරාදු කර ආහාරයට ගනී. ගෙඹි මාංශවල ශරීරයේ ජීව ශක්තිය වඩවන ඖෂධීය ගුණයක් ඇතුළත්ව ඇතැයි යන සාම්ප‍්‍රදායික චීන මතවාදය මෙය ආහාරයක් ලෙස ජනප‍්‍රිය වීමට ප‍්‍රබල හේතුවක් වී ඇත.

 යුදෙව් සහ මුස්ලිම් ආගම්වල ගෙම්බන් ආහාරයට නොගත යුතු පිළිකුල් සහගත සත්ත්ව කොට්ඨාසයන්ට අයත් සේ සැලකෙන බැවින් ආහාරයෙන් බැහැර කර තැබෙයි. පණපිටින් කකුල් ගලවා ගැනීමේ ක‍්‍රමය හේතුවෙන් සත්ත්ව අවිහිංසාවාදී සංවිධානවල බලවත් විරෝධයට හේතුවී ඇතත් තවමත් ලොවපුරා වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් මිලියන 40 වටිනා වෙළඳාමක් ගෙඹි කකුල් ආශ‍්‍රිතව සිදු කෙරේ. ආහාරයට ගැනීම හේතුවෙන් පරිසරයේ සමතුලිතතාවට අත්‍යවශ්‍ය අංගයක් වන ගෙම්බන් ගහනය සීග‍්‍රයෙන් අඩුවී යෑම පිළිබඳව පරිසර සංවිධාන මගින්ද අනතුරු හඟවා තිබේ.

කැරපොත්තන් කුරුමිණියන් සහ පළගැටියන්ද රසකර කන චීන්නු

china2

අප බොහෝ විට පිළිකුල් සහගත සහ කරදරකාරී සත්ත්වයෙකු ලෙස සලකන කැරපොත්තා චීනයේ රසවත් ආහාරයක් වනවාට අමතරව විශාල වශයෙන් ආදායම් ගෙනෙන මාර්ගයක් වී ඇත. චීනයේ බොහෝ පළාත්වල කැරපොතු ගොවිපොළවල් පවත්වාගෙන යෑම දකින්නට ඇති අතර චීනය පුරා විසිරුණ කැරපොතු ගොවිපළවල් 100 පමණ මේ වන විට පවත්්වාගෙන යන බව නිල නොලත් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ලොව විශාලතම කැරපොතු ගොවිපොළ ගිණිකොණ දිග චීනයේ සිචුවාන් හි පිහිටා තිබේ.”ගුඞ් ඩොක්ටර් ෆාර්මසියුටිකල් සමාගම් සමූහය විසින් පවත්වාගෙන යනු ලබන මෙම ගොවිපළේ කැරපොත්තන් අස්වැන්න වසරකට කැරපොත්තන් බිලියන 6ක් පමණ වේ. මෙම සමාගම තම අතිවිශාල කැරපොත්තන් ගොවිපළ පවත්වාගෙන යෑම සඳහා කෘතිම බුද්ධිය සහිත නවීන තාක්‍ෂණික පද්ධතියක් භාවිත කරනු ලැබේ.

 මෙම කැරපොත්තන් ආහාර පිණිස අවන්හල්වලට මෙන්ම ඖෂධ සඳහා ඖෂධ නිෂ්පාදකයන්ට විකුණා දැමෙන අතර ඖෂධ සඳහා යොදාගන්නා කැරපොත්තන් පණපිටින්ම උතුරන වතුර භාජනයක දමා තම්බා ගැනීමෙන් පසු හිරු එළියෙන් හෝ කෘතීම ලෙස වියළා ගැනේ.

 කැරපොත්තන් ආහාරයට ගැනීමට චීන ජනතාව පොලඹවන ප‍්‍රධානතම හේතුවක් ලෙස දකින්නට ඇත්තේ ශතවර්ශ ගණනාවක් පසුපසට දිවෙන චීන සම්ප‍්‍රදායික වෛද්‍ය විද්‍යාවේ කැරපොත්තන් ආහාරයට ගැනීමෙන් විශාල ප්‍රතිශක්තිය​ක් ලබාගත හැකි බවට වන විශ්වසායයි. චීන සාම්ප‍්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ එතෙක් මෙතෙක් ලියන ලද සවිස්තරාත්මක ෙවෛද්‍ය ග‍්‍රන්ථය ලෙස සැලකෙන ”මැටීරියා මෙඩිකා” හි කැරපොත්තන්ගේ ඖෂධීය වටිනාකම සම්බන්ධව සඳහන් වීම මෙයට පිටුබලයක් සපයන්නට ඇති බව නිසැකය.

 කැරපොත්තන් අමුවෙන් ආහාරයට ගැනීමෙන් උගුරේ වණ හා ආමාශගත ආබාධ සුවකර ගැනීමට හැකි බව බොහෝ වීන ජාතිකයන් විශ්වාස කරනු ලබන බව පෙනේ. ආහාරයට ගත් අය කියා සිටින්නේ එය කිරි රසැති රසවත් ආහාරයක් වන බවයි. අප ඉස්සන් ආහාරයට සකස් කරගන්නා ලෙසටම තම්බා, බැද හෝ තෙම්පරාදුකර කැරපොත්තා ආහාරයට සකස් කර ගනු ලැබේ. විවිධ සූපවේදීන්ට හා ආහාර වට්ටෝරුවලට අනුව කුළුබඩු සහ වෙනත් රසකාරක ද්‍රව්‍ය එකතු කිරීමෙන් වඩාත් රසවත් ආහාර ප‍්‍රභේදයන් කැරපොත්තන්ගෙන් සකස් කරගනු ලැබේ.

 කැරපොත්තන් මෙන්ම මී මැස්සන්, මකුළුවන්, තණකොල පෙත්තන්, සහ කුරුමිණියන් ආදී කෘමීන් රන්වන් පැහැවන තෙක් බැදගෙන හෝ බාබකි්‍යූ ආකාරයෙන් පුළුස්සා ඉරටුවල අමුණා ආහාර පිණිස අලෙවියට තැබීම පදික වේදිකාවල හෝ ජනයා ගැවසෙන විනෝදස්ථාන ආසන්නයේ සුළභ දසුනක් වන අතර චීන ජාතිකයන් මෙන්ම එහි පැමිණෙන සංචාරකයන් අතරද මෙම ආහාර බොහෝ සේ ජනප‍්‍රියය. මෙය බොහෝවිට ශ‍්‍රී ලංකාවේ ගාළු මුවදොර වැනි ස්ථානවල ඉස්සෝ වඬේ විකිණීමට තබා ඇති ආකාරය සිහිගන්වයි.

කෑම පිගානට එන රසවත් මීයන්

 ශතවර්ෂ ගණනාවක් ඈත අතීතයේ සිටම චීනය ඇතුළු රටවල මිනිසුන් ආහාරයක් ලෙස මීයන් භාවිත කිරීමට පුරුදුවී සිටියහ. එක්සත් ජනපදයේ නෙබ‍්‍රස්කා – ලින්කන් විශ්වවිද්‍යාලය මගින් කළ පර්යේෂණයකට අනුව චීනයේ ආහාරයක් ලෙස මීයන් යොදාගැනීම ටැං රාජවංශය (ක‍්‍රි.ව.618-907) කාලයේදී පවා සිදුවූ බවට සාක්‍ෂි හෙලිදරව් වී තිබේ. එකල අලූත උපන් මී පැටවුන් මී පැණිවල බහා රසවත් ආහාරයක් ලෙස චොප්ස්ටික් මගින් කෑමට ගත් බව එහි සඳහන් වේ. වියට්නාමය, ලා ඕසය, පිලිපීනය, බුරුමය හා ඉන්දුනීසියාව වැනි රටවලද ඉන්දියාවේ ඈත කඳුකර ප‍්‍රදේශවලද අතීතයේ සිට මීයන් ආහාරයක් ලෙස භාවිතා කරනු ලැබේ. නවසීලන්තයේ ඇතැම් ප‍්‍රදේශවලද අප‍්‍රිකාවේ බොහෝ රටවලද මියන් රසවත් ආහාරයක් වේ. මෙම බොහෝ රටවල කුකුළු මස්වලට වඩා මී මාංශ මිලෙන් අධික වන අතර රසයෙන්ද වැඩි බව අනුභව කරන්නන්ගේ අදහසයි. අලූත උපන් මී පැටියන් කුකුළු පැටවුන්ගේ මස් මෙන් හෝ වටු මස් මෙන් මෘදු හා රසවත් වන බව ඔවුන්ගේ අදහසයි. මෙම ලපටි මී පැටවුන් පණ තිබියදීම සෝස් වල හෝ චොප්ස් ස්ටික් මගින් විශේෂ කරි මිශ‍්‍රණයක තවරා ආහාරයට ගැනීම තවමත් චීනයේ ජනප‍්‍රිය ආහාර අංගයකි.

 වාණිජ පරමාර්ථයෙන් සිදුකරන කැරපොත්තන් ගොවිපළවල් මෙන්ම මී ගොවිපළවල්ද චීනයේ දකින්නට ඇති අතර මේවායේ මස් සඳහා ඇතිකරනු ලබන මීයන් අවන්හල් සඳහා විකිණීම සිදුකරනු ලැබේ. ඌරු මස් හෝ එළු මස් මෙන් තම්බා පිසගැනීම, පුළුස්සා ගැනීම හෝ බැද ගැනීම මගින් මී මස් ආහාර සඳහා සකස් කරගනු ලැබේ.

දීර්ඝායුෂ දෙන වවුල් සුප්

 සිංගප්පූරුව හැරුන විට ආසියානු රටවල් වැඩි ප‍්‍රමාණයක ආහාර සඳහා හෝ ඖෂධීය අවශ්‍යතා වෙනුවෙන් වවුලන් දඩයම් කිරීම සිදුවන අතර චීනයේ මෙය වඩාත් බහුලව සිදු කෙරෙණු දකින්නට ලැබේ. විශේෂයෙන්ම දකුණු චීනයේ අවන්හල්වල සහ වීදි ආපනශාලාවන්හි වවුල් සුප් සහ වවුල් මාංශමය ආහාර ජනප‍්‍රිය අංගයකි. සුදුලූනු, ගම්මිරිස් සහ තවත් කුළුබඩු වර්ග ගණනාවක් යොදාගනිමින් සාදාගන්නා ලද වවුල් සුප් දිනපතා චීන ආහාර වේල් වලට එක්කර ගනු ලැබේ. එසේම ස්ටූ ලෙසත් වෑංජන සහ බාබකි්‍යූ ලෙසටත් මේවා සකස් කරගනු ලැබේ. මෙයින් තමන්ට දීර්ඝායුෂ විඳින්නට හැකි වෙතැයි ඔවුන් කල්පනා කරයි.

 2000 දශකය මුල සාර්ස් වසංගතය පැතිරීයෑම හේතුවෙන් චීන රජය විසින් වවුලන් මීයන් ඇතුළු රෝගකාරක විය හැකි සතුන් ආහාරයට ගැනීම තහනම් කිරීම පිළිබඳ නීති පැනවීම කෙරේ අවධානය යොමුවූ අතර කොරෝනා වෛරසය පැතිරී යෑමත් සමග මෙම සතුන් ආහාරයට ගැනීම මෙන්ම විකිණීමද 2020 ජනවාරි මස සිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

 කොරෝනා වෛරසය වූහාන්හි නීති විරෝධී වන සත්ත්ව වෙළඳ පොළක් හරහා අලෙවි වූ වවුලන් මගින් පැතිරෙන්නට ඇතැයි මුලදී බොහෝ පාර්ශ්වයන් වෙතින් සැක මතුවූ අතර ඒ සමගම කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වවුලෙකු ආහාරයට ගන්නා කාන්තාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසරන්නට වූ විය. මේ නිසා බොහෝ සමාජ මාධ්‍ය පරිිශීලකයන්ගේ බලවත් විරෝධය චීන ආහාර රටාව කෙරේ එල්ල විය. නමුත් එකී වීඩියෝව චීනයට කිසිදු සම්බන්ධයක් නැති පැසිෆික් සාගරයේ බටහිර කොටසේ පිහිටා ඇති කොදෙව් දූපත් සමූහයක් වන පලාවු දූපත්වලදී අන්තර්ජාල බ්ලොග් කරුවකු වන මැන්ගුන්ග් වැන්ග් විසින් රූපගත කර 2016 වසරේදී සංචාරකයන් දැනුවත් කිරීම සඳහා මුදාහරින ලද්දක් බව දැන් හෙළිව තිබේ. කොරෝනා වෛරසය ගැන හාංකවිසියක් නොදැන සිටි සමයක විවිධ ආහාර රටාවන් පිළිබඳ සංචාරකයන් දැනුවත් කිරීමට නිර්මාණය කරන ලද වීඩියෝවක් ඊට වසර හතරකට පසු ඇතිවන ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් හා බද්ධ කිරීමට අන්තර්ජාල පරිශීලකයන් දැක්වූ උනන්දුව උත්ප‍්‍රාසය දනවන සුළු වේ.

බල්ලන් සහ බළලූන් ගේ මස් ආහාරයට

 දකුණු ඇමෙරිකාවේ ඇතැම් ප‍්‍රදේශ සහ වියට්නාමයේද බල්ලන් සහ බළලූන් ගේ මාංශ ආහාරයට ගන්නා නමුත් චීනයේ සහ කොරියාවේ සාම්ප‍්‍රදායික ආහාර රටාවේ ශතවර්ෂ ගණනක් පුරා එය වැදගත් ස්ථානයක් අත්පත් කරගෙන සිටී. චීනයේ සාම්ප‍්‍රදායික ජනතාව විශ්වාස කරන්නේ සුනඛ මාංශ මගින් ශරීරයේ පරිවෘත්තීය ක‍්‍රියාවලිය කාර්යක්‍ෂම කරන බවයි. මේ හේතුවෙන් චීන ජනතාවගේ දෛනික ආහාර වේලෙහි කොටසක් ලෙස බල්ලන් සහ බළලූන්ගේ මාංශ පවතින අතර චීනයේ බොහෝ ප‍්‍රදේශවල මස් සඳහා බල්ලන් ඇතිකරන ගොවිපළවල් පවත්වාගෙන යනු ලැබේ. ඓතිහාසික වාර්තාවන්ට අනුව ක‍්‍රි.පූ. 500 පමණ සිට චීනයේ සුනඛ මස් ආහාරයට ගැනීම සිදුවන්නට ඇතැයි විශ්වාස කරන අතර මෙහි මූලාරම්භය යුද්ධ හා සාගත හේතුවෙන් ආහාර හිඟවීම මත සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

 චීනය ලොව විශාලතම සුනඛ මාංශ පාරිභෝජකයා වන අතර වසරකට ආහාර සඳහා සුනඛයන් මිලියන 10-20 අතර ප‍්‍රමාණයක් මරා දැමෙනු ඇතැයි සැලකේ. දකුණු චීනයේ ගුවැංඩොං පළාතේ පමණක් ආහාර සඳහා දිනකට බළලූන් 10000 ක් පමණ මරා දමන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. පහසුවෙන් නොමැරෙන සතුන් වර්ගයක් ලෙස සැලකෙන බළලාගේ මාංශ අනුභවයෙන් ශක්තිමත් භාවයත්, දිගුකල් ජීවත්වීමේ හැකියාවත් ලැබෙන බව බොහෝ චීන ජනයාගේ විශ්වාසයයි. බොහෝ දෙනකුට පිළිකුල් විය හැකි වුවද සුනඛ මාංශ එළු මස් මෙන් රසවත් බව එය පරිභෝජනය කළ අය පවසති. කෙසේ වෙතත් සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන වල බලපෑම සහ තවත් හේතු ගණනාවක් නිසා චීන රජය බල්ලන් සහ බළලූන් ආහාර සඳහා මරා දැමීම තහනම් කිරීම සඳහා දැන් සලකා බලමින් සිටී.

චීනයේ වෙනත් රසවත් ආහාරද තිබේ

 මෙම ලිපිය කියවන පාඨකයාට චීනයේ ආහාර රටාව පිළිබඳ පිළිකුලක් ඇතිවිය හැකි නමුත් ලෝකයේ වඩාත් සංකීර්ණ සහ විස්තීර්ණ ආහාර රටාවන් සහිත කෝටි 143 කට වැඩි ජනතාවක් වර්ග කිලෝමීටර් අනූහය ලක්‍ෂයක භූමියක විසිරී ඇති චීනයේ ආහාර පිළිබද චිත‍්‍රය එවැනි හැඟීමකින් අවලස්සන කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බවද සඳහන් කළ යුතුය. ලෝකයේ වඩාත් ජනප‍්‍රිය සහ රසවත් ආහාර ලැයිස්තුවල චීන ආහාර වර්ග ඉහළින්ම ඇති බව ඒ පිළිබඳ සොයා බැලීමේදී පෙනී යයි. ඒ අතර ලොව සුප‍්‍රසිද්ධ චයිනීස් ප‍්‍රයිඞ් රයිස්, පීකිං තාරාවා නම් රෝස්ට් කරන ලද තාරා මස්, කුංග් ෆාවෝ චිකන්, කුළුබඩු සමග ටෝෆූ, වොං ටොං සුප්, ඩම්ප්ලින් චව්, මෙයින් නම් නූඞ්ල්ස් චීන ජාතිකයන් අතර මෙන්ම විදේශිකයන් අතරද බෙහෙවින් ජනප‍්‍රිය වන අතර තවත් වර්ග විශාල ගණනකින් යුතු චීන කෑම වලට ලොව සෑම රටකම ඉහළම ඉල්ලූමක් ඇත.

 කොරෝනා වෛරසය පැතිරීයෑම චීන ආහාර රටාවට ඇතුළත් වවුලාගෙන් හෝ වෙනත් සතෙකුගෙන් සිදුවූ බව සැක කරන නමුත් එය මේ වන තෙක් විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ කර නැත. එසේම චීන රජය එවැනි ශිෂ්ට සම්පන්නභාවයට මඳක් දුරස් ආහාර රටාවන් පවත්වාගෙන යෑමට අනුබල සපයන්නේ නැති අතර ඒවා පාලනය කිරීම සඳහා විවිධ නීතිරීතීන් ක‍්‍රියාවේ යොදවමින් සිටියි. එවැනි තත්ත්වයක් තුළ පවා උද්ගත වූ කනගාටුදායක තත්ත්වය පාදක කර ගනිමින් චීනය පිළිකුල් සහගත, ම්ලේච්ඡයන්ගෙන් පිරුණ, ළංකර නොගතයුතු සහ ලෝකයට හිසරදයක් වන රටක් ලෙස හැඟවීමට ඇතැම් බටහිර ජනමාධ්‍ය මෙහෙයුමක් ගෙනයන ආකාරයද පෙනෙන්නට තිබේ. ඒ පසුපස නිසැක වශයෙන්ම බොරදියේ මාළු බෑම සඳහා වන ඇමෙරිකානු හස්තය සැඟවී නොතිබීමට හේතුවක් නැත. එසේනම් ඒ සඳහා බලපානු ඇත්තේ චීනය නුදුරේදීම ලෝක බලවතෙක් වේය යන සහේතුක බිය බව අප තේරුම්ගත යුතුය.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here