“ මොකද ? මේ ඇඳිරිනීතිය අස්සේ ඇවිදින්නේ?” ඇය ඇහුවේ තරමක් සැරෙන්.

“ නෝනා මම අර එහා පාරට හැරෙන තැන ලෑලි ගෙදර ඉන්නේ. කුලියකට යන්න විදිහක් නැහැ. තියනවා නම් පොඩි එවුන්ට කන්න හාල් ටිකක් දෙන්න “

ඇය කල්පනා කරමින් හිටියේ මොනවහරි දෙනවද කියලයි.

“ මට ළමයි 4 ක් ඉන්නවා නෝනා මහත්තයෝ.. පහුගිය දවස් වල කිරි අල හාරන් කෑවා. ගෙදර ලුණු ටිකක් වත් නැහැ” ඔහුගේ මුහුණ හැඬුම් යන්න ආසන්න වුණා.

“ උඹලට කන්න නැතත් ළමයි නම් වදනවා” මුදලිගේ නෝනා කීවේ කිසිම තෙතක් නැතුව.

“ මේ දවස් වල අපිටත් කන්න නැතුව ඉන්නේ. පලයන් යන්න මම බැරක්කේ රාලහාමිට කතා කරන්න කලින්” කියපු ඇය වහාම ගෙට වැදිලා දොරත් හොඳට ලොක් කරේ සැනසීමෙන්. “ඕකුන් පුරුදු කර ගත්තම හැමදාම ඒවි. ඔක්කොම 6 කට කන්න දීලම අපේ කෑමත් ඉවර වේවි” ඇය හිතුවේ කෝපයෙන්.

මුදලිගේ නෝනාගේ මහත්තයා වසරකට පෙර මිය ගියා. ඇය ඔහුට සාත්තු කරන්න මාස 6 ක් ගත කළ නිසා දැඩි සහනයෙන් හිටියේ. ඔහුගේ පැන්ෂන් එක වගේම රට ඉන්න දරුවෝ එවන සල්ලි නිසා ඇයට බත බුලතින් හිඟයක් තිබුනෙම නැහැ. කලින්ම ඒ රටවල් ලොක් කරපු නිසා ඇගේ දරුවෝ වේලපහින්ම අනතුරු අඟවලා තිබුනේ. ඉතින් ඇය ලංකාවට කොරෝනා බය දැනෙන්න මාසෙකට කලින්ම ගිහින් මාස 6 කට වගේ ඇතිවෙන්න බඩු ගෙනාවා.

මේ තියන දේවල් පරිස්සම් කරගන්න ඕනේ. ඒ එක්කම ගෙදර තිබෙන බඩු පාවිච්චි කරලා නොයෙක් නොයෙක් ආහාර අත්හදා බැලුවේ මේ ලැබුන විවේකය ගැන සතුටින්. සමිති සමාගම්, නෑදෑ ගෙවල්, මගුල් ගෙවල් දැන් නැහැනේ. රෑට TV බලද්දී කන්න වටලප්පමක් හදාගත්තේ බිත්තර එහෙම යහමින් දාල. බිත්තර ඉතින් වැඩි දවසක් තියා ගන්න බැහැනේ. එදා හදිස්සියට බිත්තර 50 ක් ගෙනාවට දවසට දෙක ගානේ කෑවත් ඉතින් සති දෙකකින් කාල ඉවර කරන බැහැනේ. නරක් වෙනවනේ.

දවස් දෙකකට කලින් එහා ගෙදර ශීලා ඇහුවා හදිස්සියට ගන්න බිත්තර දෙකක් නැතිද කියල. ශීලාගේ පොඩි ළමය මස් , මාළු කන ළමයෙක් නෙවේ. ඒකට කන්න දෙන්න විදිහක් නැහැ කියල

තමන්ගේ දුරදක්නා බව සහ වත්පොහොසත් කම ගැන පැහැදුන මුදලිගේ නෝනා හිතුවේ…

“ උන්ට කන්න නැත්තේ උන් ගිය ආත්මේ නොදුන්න නිසයි. මගේ පින…. උන්ගේ පව ….” මේ කොරෝනා වසංගතේ ඉවර වුන ගමන් තුන් වෙනි වතාවටත් 84,000 මල් පූජාව කරන්න සහ චෛත්යට මහා පලතුරු පූජාවට සම්මාදම් වෙන්න ඇය තීරණය කළා.

මේ මල හිඟන්නන්ට දුන්නට පිනක් නැහැ. පින වැඩි වෙලා ලබන ආත්මේ මට මීට වඩා භව භෝග ලැබෙන්න නම් ඉතින් මහා පූජා කරන්න ඕනේ. මුදලිගේ නෝනා තීරණය කළා.

වටලප්පන් කෑල්ලක් කටේ දා ගනිද්දිම ෆෝන් එක ආයෙත් නාද වෙනවා.

“ හෙලෝ…”

“ ආ…ආන්ටි ..මම මේ කුසල්. “

“කුසල් පුතා දැන් ඉන්නේ කොහෙද?”

“ මම මේ කියන්න ගත්තේ ආන්ටි මම ලංකාවට ආවා. මේ දවස් වල ඉතාලිය පුරාම ලෙඩනේ ආන්ටි” කුසල් කියන්නේ මුදලිගේ නෝනගේ අයියගේ දුව බැඳලා ඉන්න පවුලේ බාල ළමයා. කුසල්ට මුදලිගේ නෝනා හරිම කැමතියි.

“ පුතේ අර මොකද්ද එකට යැවුවද පුතාව ?” ඇය ඇහුවේ දුකෙන්.

“ මොන පිස්සුද ආන්ටි… මම ඉතාලියෙන් ඉන්දියාවට ඇවිත් එතනින් වෙනම ලංකාවට ආවේ ඉන්දියාවේ ඉඳල එනවා වගේ. මම බේරිලා පැන්නා.” ඔහු හයියෙන් හිනා වුනේ තමන්ගේ ජයග්රහණය ගැන තමන්ගේ නැන්දා ආඩම්බර වේවි කියා උද්දාමයෙන්.

“ එහෙනම් කමක් නැහැ..අයියෝ දවස් 14 ක් කොහොමද ඔය තැන් වල ලගින්නේ අපි වගේ වැදගත් මිනිස්සු?” මුදලිගේ නෝනා කීවේ සතුටින්.

“ ආන්ටි ..මම එහෙන් එද්දී ආන්ටිට ඕනේ කීව මේකප් සෙට් එකයි, කන බොන ජාති ටිකකුයි ගෙනාවා. ආ ..අර පර්ෆියුම් එක මම වැඩ කරපු ගෙදර බොස්ගේ වයිෆ් මට 6ක්ම දුන්නා. ඒ සේරම මම ආන්ටිට දෙන්න හෙට උදේම එන්නම්” නැත්නම් මේවා ඉක්මනට ඉවර වේවි.

“ අනේ ඔවු පුතා රට ඉඳල ආව කියද්දී අපේ එකාල ඉතින් ගෙදෙට්ට ඇවිත් කටින්ම ඉල්ලනවනේ “

“ ආන්ටි කියන්නේ ඊයේ මම ආව වෙලේ ඉඳල මේ වෙද්දී 50 කට වඩා ගෙදර. මම ඔය ටොපි චොක්ලට් ටිකක් දීල ශේප් වුනා. මගේ යාළුවො ටික එක්ක නම් අද හවස සෙට් වෙන්න ඉන්නේ. දන්නේ නැද්ද කොල්ලෝ ටික ඉතින් පාර්ටියක් නැතුව බැහැ. “ ඔහු කීවේ තව පාරක් කොක්සන් දෙමින්.

ඊළඟ දවසේ මුදලිගේ නෝනා උදේ රැයින්ම නැගිටලා කුසල්ට කන්න ඔහු කැමතිම උදේ ආහාරයක් හැදුවා. වටලප්පන් වලට මදි පාඩුවට කුසල්ට ගෙදර ගෙනියන්න තව වටලප්පමක් හැදුවා. කුසල් තමන්ට මෙච්චර තෑගී ගේන එක ඇයට හරිම සංවේදී අත්දැකීමක් වුනා වගේම වෙන කවුරු හරි ඇවිත් ඒවා ඉල්ලගනී කියල පොඩි බයකුත් ඇතිවුණා.

උදේ පාන්දර ට්රැෆික් නැති පාරේ කුසල් ඉක්මනින්ම මුදලිගේ නෝනා වෙතට එන්නට උපකාර වුණා. ඔහු දැකල ඇයට හරිම සතුටුයි.

“ පුතේ පොලිසියට අහු නොවී ආවේ කොහොමද ?”

“ අනේ ආන්ටි අපේ අම්මගේ බෙහෙත් තුණ්ඩුව ගත්තා… චෙක් පොයින්ට් වල රාළහාමිලාට ඇට් කරලා පෙන්නුවා අම්ම දියවැඩියාවට බෙහෙත් නැතුව ඉන්නේ කියල. ඒ මෝඩයෝ ටික රැවටිලා මට යන්න මහත්තයා ..යන්න කියල දුන්නා” ඔහුට රාළහාමිලාගේ මෝඩ කම ගැන දැනුණේ ලොකු හාස්යයක්.

එදා දවල් වෙනකම්ම කුසල් සහ මුදලිගේ නෝනා කමින් බොමින් සතුටු සාමිචියේ යෙදුණා. අවසානයේ ඔහු පිටත් වුනේ හවස් වෙලා. ඊළඟ දවසේ ඉස්කෝලේ බිග් මැච් එකට යන්න කොල්ලෝ එක්ක කතා වෙලා නොවෙන්න තව ටිකක් ඉන්න තිබුණා.

දැන් මුදලිගේ නෝනට රෑට TV බලද්දී කන්න ලොකු චොක්ලට් තොගේකුත් තියනවා. ඒවා කමින් ඉද්දි ඊළඟ සතියේ අඟහරුවාදා ඇයට පොඩි කැස්සක් හැදුනා. තුන් වෙනි දවස වෙද්දී රෝහල් ගත වුණා. ඇය ඇඩ්මිට් කරද්දී කීවේ සීතලේ නාල මේ දේ වෙන්න ඇති කියලයි. 9 වෙනි දවසේදී පෙනහළු අක්රිය වීමෙන් ඇය මිය ගියා.

පුවතක් : නිරෝධායනය නොවී පලාගිය ඉතාලියෙන් පැමිණි පුද්ගලයෙක් හට කොරෝනා වෛරසය වැළදී කටාන ප්රදේශයේදී සොයා ගන්න ලදී. ඔහු විසින් මෙතෙක් හැසිරෙන ලද සංඛ්යාව මේ වන විට දල වශයෙන් 3,000 ඉක්මවන බව පැවසේ. ඔහුගෙන් රෝගය වැළඳුන වයෝවුධ නැන්දනිය පසුගියදා අභාවප්රාප්ත වී සීල් තබන ලද බහාලුමක හමුදාව විසින් ආදාහනය කරනු ලැබුවා. ආගමික චාරිත්ර හෝ රැස්වීම් කොරෝනා වෛරසය ආසාධනය වී මියගිය කෙනෙක් වෙනුවෙන් නොපැවැත්වීම සම්ප්රධාය වේ. මියගිය අයගේ දරුවෝ විදේශ ගතවී ඇති බැවින් නිවස බලධාරීන් විසින් සීල් තබනු ලබා තිබෙනවා. ඇය විසින් ව්යාජ තොරතුරු ඉදිරිපත් කර රෝහල් ගත වීම නිසා මේ වන විට කටාන මූලික රෝහලේ කායික රෝග අංශයේ සියලුම කාර්ය මණ්ඩලය නිරෝධායනය වෙමින් පවතිනවා.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here