යාල දන්නවද අපෙ මුළු ශරීරයම පාලනය කරන පාලන මධ්‍යස්ථානය මොකක්ද කියලා. අනිවාර්යෙන්ම එය අපේ මොළයයි. අපේ හෘද ස්පන්දනය වෙන්න, හුස්ම ගන්න වගේම, අපිට ඇවිදින්න, හිතන්න, මේ හැමදේකටම උදව් වෙන්නේ අපේ මොලය තමයි. මේ නිසා අපි මොළේ ක්‍රියාකාරිත්වය හොඳන් තියාගන්න අවශ්‍ය වෙනවා. අපි කන ආහාර ගැන හිතුවොත් බොහෝ ආහාර මොළේ ක්‍රියාකාරිත්වය සඳහා බලපානවා. ඒ නිසා අද අපි බලමු මොනාද අපේ මොළේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්න පුළුවන් සහ අපේ මතක ශක්තිය වැඩි කරන්න පුළුවන් ආහාර කියලා. මෙහිදී අපි ආහාර වර්ග 11ක් ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා.

  • මේද සහිත මාළු

අපි මොලේ වැඩෙන ආහාර ගැන කතා කළොත් මේද සහිත මාළු ප්‍රමුඛස්ථානයක් ගන්නවා. මේ ගණයට අයත් වන මාළු තමා සැමන් මාළු, ට්රවුට් මාළු සහ සාඩින් මාළු. මේ මාළු ඔමේගා ත්‍රී කියන මේද අම්ලය බහූල ආහාර වෙනවා. ඔයාලගේ මොලේ 60% හැදිලා තියෙන්නේ මේද වලින්. ඒ වගේම ඒ සීයට හැටෙන් භාගයක අඩංගු වෙන්නේ මේ ඔමේගා ත්‍රී කියන මේද අම්ලය. මේ මේද අම්ලය මොලේ සෛල වර්ධනයට සහ ස්නායු සෛල වර්ධනයට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපේ ඉගෙනීම් කටයුතු වලට මෙන්ම මතක ශක්තිය පවත්වා ගැනීමටත් ඔමේගා ත්‍රී මෙද අම්ලය  වැදගත් වෙනවා. මේ ඔමේගා ත්‍රී වලින් ලැබෙන තවත් වාසි තියෙනවා. ඔයාල දැකල ඇති වයසට යද්දී ආච්චිලා සීයලාගේ මොළේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙනවා .මේ ඔමේගා ත්‍රී වලින් මොළේ ක්‍රියාකාරිත්වය වයසට ගියත් යහපත්ව පවත්වාගෙන යන්න වැදගත් වෙනවා. ඒ වගේම ඔමේගා ත්‍රී හිඟ වුණොත් ඔයාලට ඉගෙන ගැනීමේ දුබලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා පීඩනයට පත් වෙන්න පුළුවන්. කොහොම වුණත් සාමාන්‍යයෙන් මාළු කන එක හොඳ සෞඛ්‍ය පුරුද්දක් කියලා දැනට සිදු කරලා තියෙන පරීක්ෂණවලින් ඔප්පුවෙලා තියනවා. මේ මාළු කන පුද්ගලයන්ගේ මොලේ අළු පැහැති ද්‍රව්‍ය වැඩිය තියෙනවා.  මේ අළු පැහැති ද්‍රව්‍ය දකින්න පුළුවන් වෙන්නේ අපේ ස්නායු සෛල වල. මේ ස්නායු සෛල තමා අපේ තීරණ ගැනීමේ හැකියාව, අපේ මතක ශක්තිය වගේම අපේ හැඟීම් පාලනය කරන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් මේද සහිත මාළු මොලේ සෞඛ්‍ය තත්වය පවත්වා ගන්න බෙහෙවින් උපකාර වෙනවා කියලා.

සාරාංශය

මේද සහිත මාළු ඔමේගා ත්‍රී නමැති මොලේ වර්ධනයට උපකාරීවන සංයෝගයෙන් පොහොසත් වෙනවා. මේ ඔමේගා ත්‍රී තියුණු මතක ශක්තියක් පවත්වා ගැනීමේදී ද, මොළේ හොඳ සෞඛ්‍ය තත්ත්වයක පවත්වා ගැනීමේදී ද ප්‍රධාන භූමිකාවක් රඟදක්වනවා.

  • කෝපි

කෝපි වල මොලේ  ක්‍රියාකාරීත්වයට උදව් වෙන කැෆේන් සහ ප්‍රතිඔක්සිකාරක නැමැති සංයෝග දෙක අඩංගු වෙනවා. මේ කැෆේන් විවිධාකාරයෙන් මොලේ ක්‍රියාකාරීත්වයට බලපානවා. ඒවා කීපයක් මොනාද කියලා දැන් අපි බලමු. කැෆේන්  අපිට නිදිමත ඇති කරන ඇඩිනොසීන් කියන රසායනික ද්‍රව්‍යයේ ක්‍රියාකාරිත්වය අවහිර කරලා අපේ මොලේ අවදිව තියාගන්නවා. ඒවගේම ඔයාලගේ දවස ක්‍රියාශීලීව ගත කරන්න, ඔයාලට ප්‍රාණවත් ගතියක් ලබා දෙන්න ඒවාට පුළුවන්.  ඒ විතරක් නෙමෙයි ඔයාලා උදෙන්ම ලොකු කෝපි කෝප්පයක් බොනවා නම් හරි දවස පුරා පොඩ්ඩ පොඩ්ඩ කෝපි බොනවා නම් හරි ඔබේ යම් වැඩකට තියෙන අවධානය හොඳින් පවත්වාගන්න උපකාරි වෙනවා කියලා අධ්‍යනයකින් හොයාගෙන තියෙනවා. ඒ වගේම හොයාගෙන තියෙනවා පාකින්සන් වගේ ස්නායු රෝග සෑදීමේ අවදානමද කෝපි බීම නිසා අඩු වෙනවා කියලා. මෙයට ගොඩක් හේතු වෙන්න පුළුවන් කෝපි වල අඩංගු අධික ප්‍රතිඔක්සිකාරක සංයෝගයි.

සාරාංශය

කෝපි අපේ දවස ප්‍රාණවත්ව ගත කරන්න බොහෝ උපකාරී වෙනවා. ඒ වගේම කෝපි වල අඩංගු කැෆේන්  සහ ප්‍රතිඔක්සිකාරක ඇතැම් ලෙඩරෝග වලින් අපිට ආරක්ෂාව සපයනවා.

  • බ්ලූබෙරි

බ්ලූබෙරි මගින් අපිට බොහෝ සෞඛ්‍යමය වාසි සපයනවා. විශේෂයෙන් මොලේ ක්‍රියාකාරිත්වය සඳහා බ්ලූබෙරි වගේම අනෙකුත් තද පැහැති බෙරි වර්ග වල   තියෙන ඇන්තොසයිනින් නැමැති ශාක සංයෝගය සහ තවත් බොහෝ ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. මේ ප්‍රතිඔක්සිකාරක මගින් මොලේ සෛල වයසට යාම ප්‍රමාද කරන අතර බොහෝ ස්නායු රෝග වලක්වා ගැනීමටත් උපකාරී වෙනවා. බ්ලූබෙරි  වල අඩංගු සමහර ප්‍රතිඔක්සිකාරක මොලේ ක්‍රියාකාරීත්වයට වගේම මොළේ සෛල අතර සන්නිවේදනයටත් උදව් වෙනවා කියල හොයාගෙන තියෙනවා. සතුන් මගින් කරපු අධ්‍යයන වලින් හොයාගෙන තියෙනවා බ්ලූබෙරි මගින් මතක ශක්තිය වර්ධනය කරනවා වගේම කෙටි කාලීන මතකය රඳවා තබා ගැනීමටත් උපකාරී වෙනවා කියලා. ඒ නිසා අපිට හැකි විදියට බ්ලූබෙරි  අපේ ආහාර වේලට එකතු කරගන්න උත්සාහ කරන්න ඕනෙ. 

සාරාංශය

බ්ලූබෙරි  බොහෝ ප්‍රතිඔක්සිකාරක වලින් සංතෘප්ත පලතුරක් වන අතර එමගින් මොළයේ සෛල වයසට යාම පාලනය කරන අතර මතකය වර්ධනය කිරීමටත් උපකාරී වෙනවා. 

  • කහ

කහ කියන්නෙ අපි හැමෝම දන්න එදිනෙදා පාවිච්චි කරන සාමාන්‍ය කුළුබඩුවක්. ඒ උනාට ඔයාලා දන්නවාද කහවලින් මොලයේ  ක්‍රියාකාරිත්වය පවත්වා ගන්න උපකාරි වෙනවා කියලා. කහ වල අඩංගු කර්කියුමීන් නැමැති සංයෝගයට මොලේ සමග ඍජුව සම්බන්ධ වෙලා මොලේ සෛලවල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්න උදව් වෙන්න පුළුවන්. මේ කර්කියුමීන් ඔයාලගේ මතකය වර්ධනය කර ගැනීමටත්, දවස පුරා ඔයාලට  දැනෙන පීඩාකාරී ස්වභාවය මග ඇරගන්න වගේම මොලේ අලුත් සෛල වර්ධනයටත් බෙහෙවින් උදව් වෙනවා. මෙවැනි බොහෝමයක් කරුණු නිසා අපේ ආහාර වේලට කහ එකතු කර ගැනීම ඉතාමත් වැදගත්. ඔයාලත් පුළුවන් හැම වෙලාවකදීම කහ ඔයාලගේ ආහාරයට එකතු කර ගන්න අමතක කරන්න එපා.

සාරාංශය

කහ කියලා කියන්නේ කර්කියුමීන් නැමැති ක්‍රියාකාරී සංයෝගය අඩංගු ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ආහාරයක්. එමගින් මොලයේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වගේම, පීඩාකාරී තත්ත්වයන් හා ඇතැම් ලෙඩ රෝග වළක්වා ගන්න බෙහෙවින් උපකාරී වෙනවා.

  • බ්රොකොලි

බ්රොකොලි වලත් ප්‍රතිඔක්සිකාරක බොහෝ  ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ වගේම බ්රොකොලි කියන්නේ විටමින් k  වලින් පොහොසත් එළවළුවක්. මොලේ සෛලවල පැවැත්ම සඳහා අවශ්‍ය ස්පින්ගොලිපිඩ් සෑදීමට මේ විටමින් k වැදගත් වෙනවා. වැඩිහිටියන් යොදා ගනිමින් සිදුකරනු ලැබූ අධ්‍යයන වලින් හොයාගෙන තියෙනවා මේ විටමින් k මතක ශක්තිය පවත්වා ගැනීමට උදවු වෙනවා කියලා. විටමින් k වලට අමතරව බ්රොකොලි වල තවත් බොහෝ ප්‍රතිඔක්සිකාරක තියෙනවා. මේවා මොළයට වන ආබාධවලින් හා හානිවලින් මොලේ ආරක්ෂා කරනවා.

සාරාංශ

බ්රොකොලි වල විටමින්  k ඇතුළුව මොලේ පැවැත්මට උපකාරී වන බොහෝ ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු වෙනවා.

  • වට්ටක්කා බීජ

අපි කවුරුත් එතරම් සැලකිල්ලක් දක්වන්නෙ නැති ආහාරයක් තමයි වට්ටක්කා බීජ කියන්නේ. ඔයාල දන්නවද මේවා වලත් ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා කියලා. ඒවා අපේ ශරීරය වගේම මොලයට වන හානි වලින් අපිව ආරක්ෂා කරනවා. ඒ වගේම වට්ටක්කා බීජ වල මැග්නීසියම්, යකඩ, සින්ක් හා කොපර් අඩංගු වෙනවා. මේ සෑම සංයෝගයක් අපේ මොලේ  පැවැත්මට ඉතාමත් වැදගත් වෙනවා. සින්ක් කියන මූලද්‍රව්‍යය ගැන සැලකුවොත් ඒවා ස්නායු සෛල අතර පණිවුඩ හුවමාරුවට උදව් වෙනවා. අපේ ශරීරයේ සින්ක් හිඟකමක් ඇති වුනොත් මානසික අවපාතය, පාකින්සන් වගේ බොහෝ ස්නායු ආබාධවලට එය හේතුවක් වෙනවා. මැග්නීසියම් ඉගෙන ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත්, මතක ශක්තිය වර්ධනය කර ගැනීමට උදව් වෙනවා. මැග්නීසියම් අඩු උනොත් ඉරුවාරදය, මානසික අවපාතය  වගේ රෝගී තත්ත්ව වැළඳීමට අවස්ථාව තියෙනවා. අපේ මොලේ ස්නායු සෛල අතර සන්නිවේදන කටයුතු සඳහා කොපර් උදව් වෙනවා. මේවා හිඟ වුණොත් විවිධ ස්නායු ආබාධ සෑදීමේ අවදානමක් තියෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. මොලයට සැපයෙන යකඩ ප්‍රමාණය අඩු උනෝතින් එය මොලේ ක්‍රියාකාරීත්වයට බලපානවා. ඉතින් දැන් ඔයාල දැනගන්න ඇති මේ වට්ටක්කා බීජ කොච්චර පෝෂදායි ද කියලා. ඒ නිසා ඔයාලත් ඔයාලගේ ආහාර වේලට මේවා එකතු කර ගන්න අමතක කරන්න එපා.

සාරාංශය

වට්ටක්කා බීජ මොලේ ක්‍රියාකාරිත්වයට ඉතාමත් වැදගත් වන යකඩ, මැග්නීසියම්, සින්ක් සහ කොපර් යන ඛනිජ ලවණ යන්ගෙන් පොහොසත් ආහාරයක් වේ.

  • චොකලට් (Dark chocolate)

චොකලට් නිෂ්පාදනය කරන්නේ කොකෝවා පවුඩර් වලින්. මේ කොකෝවා පවුඩර් වල මොළේ ක්‍රියාකාරිත්වයට ඉතාමත් වැදගත්වෙන ෆ්ලෙවනොයිඩ්, කැෆේන්  සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. මේ ෆ්ලෙවනොයිඩ් කියන ප්‍රතිඔක්සිකාරකය මොළේ මතක ශක්තිය පවත්වා ගැනීමට වගේම, ඉගෙනීමේ කටයුතු ධාරණය කරගන්න උදව් වෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියනවා.  මේවා වයසට යාමත් සමඟ මතක ශක්තියේ සිදුවන දුර්වලතා නැති කරමින් මතක ශක්තිය හොඳින් පවත්වා ගැනීමට උදවු වෙනවා. ඒ වගේම චොකලට් කියන්නේ අපිට දවස ප්‍රාණවත්ව සහ ක්‍රියාශීලීව ගත කරන්න උදව් වෙන ආහාරයක්. ඒ වගේම හොයාගෙන තියෙනවා වැඩියෙන් චොකලට් කන අය අනිත් අයට වඩා ධනාත්මකව හිතනවා කියලා. ඒ උනාට තාම තහවුරු වෙලා නෑ මේවට හේතුව චොකලට් වල අඩංගු සංයෝග ද නැත්නම් චොකලට් වලින් ඒ ලැබෙන රසය ද කියලා.

සාරාංශය

චොකලට් වල අඩංගු ෆ්ලෙවනොයිඩ්  වලින් මොලය ආරක්ෂා කරනවා. පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා චොකලට් කෑම කෙනකුගේ මතකය හොඳින් පවත්වාගන්න වගේම  දවස ක්‍රියාශීලීව ගත කරන්න උදව් වෙනවා කියල.

  • රටකජු

පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා රටකජු කෑමෙන් කෙනෙකුගේ හෘදයේ තත්වය හොඳින් පවත්වා ගන්න උපකාරී වෙනවා කියලා. හෘදය යහපත් සෞඛ්‍ය තත්වයෙන් තියෙනවා කියන්නේ මොලේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව තියෙනවා කියන එක තමයි. රට කජු වලින් ස්නායු රෝග ඇතිවීම වළක්වනවා. තවත් සිදුකරලා තියෙන අධ්‍යයනයකින් ඔප්පුවෙලා තියනවා වසර කිහිපයක් තිස්සේ රටකජු ආහාරයට ගන්නා කාන්තාවන්ගේ මතක ශක්තිය අනිත් කාන්තාවන්ට වඩා ඉතාමත් තියුණු බව. මේ රටකජුවල මොළය ක්‍රියාකාරිත්වයට වැදගත් වන සෞඛ්‍යදායි මේද  වලින්ද, ප්‍රතිඔක්සිකාරක වලින්ද, විටමින් E වලින්ද සමන්විත වේ. මේ විටමින් E යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගන්න උදව් වෙනවා. 

සාරාංශය

රටකජු මොලේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට උදව් වන විටමින් E ඇතුළු බොහෝ පෝෂණ සංඝටක වලින් යුක්ත වෙනවා.

  • දොඩම්

ඔයාල දන්නවද දවසට එක දොඩම් ගෙඩියක් කෑවොත් මුළු දවසටම අවශ්‍ය විටමින් සී ප්‍රමාණය සපුර ගන්න පුළුවන් කියලා. මේවා ගොඩක් ඔයාලගේ මොලේ පැවැත්මටත් වැදගත් වෙනවා කියලා ඔයාලා දන්නවද. විටමින් සී කියන්නේ මොළේ මානසික තත්වය යහපත් ව පවත්වා ගන්න උපකාරී වන ප්‍රධාන සංඝටකයක්. විටමින් c අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගත්තොත් වයසට යෑමත් සමඟ ඇතිවන මානසික දුර්වලතා වලින් වැළකී ඉන්න පුළුවන් කියලා ඇතැම් පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම විටමින් සී කියන්නේ මොලේ සෛලවල ක්‍රියාකාරිත්වයට හානි කරන මුක්ත ඛණ්ඩ වලින් මොළේ ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. දොඩම් වලට අමතරව බෙල් පෙපර්,   අලිගැටපේර, කිමි, තක්කාලි සහ ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් විටමින් සී අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්.

සාරාංශය

දොඩම් ඇතුළු විටමින් c අඩංගු ආහාර අපේ මොලේට හානි පමුණවන මුක්ත ඛණ්ඩ වලින් මොළය ආරක්ෂා කරගන්න ඉතාමත් වැදගත් වෙනවා.

  • බිත්තර

බිත්තර කියන්නෙ අපේ මොලේ පැවැත්මට ගොඩක් උදව් වෙන විටමින් බී6 විටමින් බී12 සහ කෝලයින් වැනි පෝෂණ සංඝටකවලින් අනූන ආහාරයක්. කෝලයින් අපේ දවස ප්‍රබෝධමත්ව ගත කරන්නත්, හොඳ මතක ශක්තියක් පවත්වා ගන්නත් උදව් වෙනවා. අධ්‍යනයකින් හොයාගෙන තියනවා වැඩිපුර කෝලයින් ලබා ගන්නා අයගේ හොඳ මතක ශක්තියක් වගේම හොඳ මානසික තත්ත්වයක් පවත්වා ගන්න ඔවුන්ට හැකි වෙලා තියෙනවා කියලා. කොහොම උනත් ගොඩක් අය මේ කෝලයින් ගැන සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. බිත්තර ආහාරයට ගැනීමෙන් මේ කෝලයින් පහසුවෙන් අපිට ලබාගන්න පුළුවන්. දැනට වෛද්‍යවරුන් කියන ආකාරයට දවසකට ගැහැණු කෙනෙක්ට කෝලයින්  425mg ක් සහ පිරිමි කෙනෙක්ට දවසකට කෝලයින් 550mg අවශ්‍ය වෙනවා කියලා. ඒ වගේම එක බිත්තර කහ මදයක කෝලයින් මිලි ග්‍රෑම් 112 ක් අඩංගු වෙනවා. විටමින් ඩි ගැන සැලකුවොත් ඒවා වයසට යාමත් සමඟ ඇතිවන මානසික දුර්වලතා වලින් අපිව ආරක්ෂා කරනවා. ඒ වගේම හොයාගෙන තියෙනවා ෆොලේට් සහ විටමින් බී 12 වගේ විටමින් අඩු උනොත් මානසික අවපාතය වගේ රෝගී තත්ව ඇතිවෙන්න පුළුවන් කියලා. විටමින් බී 12 මොලේ නිපදවෙන ඇතැම් රසායනික ද්‍රව්‍ය වගේම මොලේ සීනි මට්ටම පාලනය කරන්නත් උපකාරී වෙනවා.

සාරාංශය

බිත්තර කියන්නෙ මොළේ හොඳ ක්‍රියාකාරිත්වයක් පවත්වාගෙන යාමට මෙන්ම, මොලේ වර්ධනයටත්, ක්‍රියාශීලීව දවස ගත කිරීමටත් අවශ්‍ය වන විටමින් බී සහ කෝලයින් වලින් පොහොසත් ආහාරයකි.

  •  ග්‍රීන් ටී

කෝපි වල වගේම ග්‍රීන් ටී වලත් අඩංගු කැෆේන් මොළේ ක්‍රියාකාරිත්වය පවත්වා ගන්න උදව් වෙනවා. ඒ වගේම ග්‍රීන් ටී ‍ප්‍රබෝධමත්ව, ක්‍රියාශීලීව, හොඳ මතක ශක්තියකින් යුතුව සහ අවධානයෙන් යුතුව දවස ගත කරන්න අපිට දැන්  නැතුවම බැරි දෙයක් වෙලා. ඒ වගේම ග්‍රීන් ටී වල අඩංගු L-තියනයින් දවස සැහැල්ලුව සහ ප්‍රබෝධමත්ව ගත කරන්න අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි ග්‍රීන් ටී වල අඩංගු ෆීනෝල් සහ ප්‍රතිඔක්ෂිකාරක සංයෝග අපේ මොලේ යහපත් මානසික තත්ත්වයක පවත්වා ගන්නත්,  පාකින්සන් වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවදානම අඩු කරන්නත් උපකාරී වෙනවා. ග්‍රීන් ටී කියලා කියන්නේ ඔයාලගේ මතක ශක්තිය හොඳින් වර්ධනය කරන්න පුළුවන් පානයක්.

සාරාංශය

ග්‍රීන් ටී කියන්නේ මොලේ ක්‍රියාකාරිත්වයට බෙහෙවින් උපකාරි වන පානයකි. එහි  අඩංගු කැෆේන් දවස ප්‍රාණවත්ව ගතකිරීමටත්, ප්‍රතිඔක්සිකාරක වලින් මොලේ ආරක්ෂා කිරීමත්, L- තියනයින් මගින් සැහැල්ලුව ගතකිරීමටත් අවස්ථාව ලබා දීලා තියෙනවා.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here