මේ දිනවල චීනයේ පැතිරී යන කොරෝනා වයිරසය ශ්‍රී ලාංකිකයින්ටද ආසාදනය විය හැකි බවට මත පළ වී තිබේ.  කොරෝනා යනු ආසාදිත පුද්ගලයෙකුගේ ශරීරය තුල සීඝ්‍රයෙන් පැතිරී ගොස් ආසාදනය කරනු ලබන වෛරසයකි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වන්නේ ඕනෑම වෛරසයකින් ආරක්ෂා වීමට නම් සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවිය යුතු බවයි. මේ දිනවල පැතිරීයන කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දීමට නම් සිරුරේ ශක්තිය මෙන්ම ප්‍රතිශක්තිය ද වැඩි කරගත යුතුය. ඒ සඳහා ශරීර ශක්තිය වඩවන ආහාර මෙන්ම විවිධ පාන වර්ගද එක්කර ගැනීම යෝග්‍ය වේ. අපගේ එදිනෙදා ආහාර රටාව වයිරස් රෝගවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශකොට ඇති හෙයින් යම් අන්තරායක් ඇති වීමට පෙර ඒ සඳහා සූදානමකින් සිටීම නුවණට හුරුය. අවම තරමින් මේ දිනවල හෝ අපගේ ආහාර රටාව වෙනස් කර ගැනීමෙන් අපගේ ශරීර සූදානමකින් තබා ගත හැකි බවත්, යම් හෙයකින් වෛරස් ආසාදනයක් ඇති වුව හොත් එය ඉක්මනින් සුව අතට හැරවීමට එමඟින් හැකි බවත් වෛද්‍යවරු පවසති. ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන ඖෂධ වර්ග වෙළෙඳපොළෙන් මිලදී ගෙන භාවිතාකරනවාට වඩා අපගේ සිරුරට අහිතකර නොවන එමෙන්ම අපට ප්‍රනීත පානයක් ලෙස සකසා ගත හැකි පානවර්ග දිනපතා එක් කරගත හැකි නම් මෙවන් අවස්ථාවක එය ඉතා ප්‍රයෝජනවත් වේ.
පහත දැක්වෙන්නේ වෛරස් ආසාදනවලින් සිරුර ආරක්ෂා කරන සහ සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවන, උදෑසන අප පුරුද්දක් ලෙස ගන්නා බෙඩ් ටී එක වෙනුවට සහ සවස තේ එක වෙනුවට පානයට ගත හැකි සිරුරට ඉතාමත් හිතකර පානයක් සාදාගන්නා ආකාරයයි. 
මෙම පානය පහසුවෙන්ම නිවසේදී සාදාගත හැකි අතර ඉන් ලැබෙන ප්‍රතිපල ද අත්දුටුය. තවද මෙය කසාය මෙන් අමිහිරි හෝ අපහසුවෙන් පානයට ගත යුතු දෙයක් ද නොවේ. තේ හෝ කෝපි පානයක් මෙන් ඉමිහිරිය. 
සිරුරේ ප්‍රතිශක්තිය වඩවන පානය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය:

කොත්තමල්ලි- ග්‍රෑම් 50ක්
ඉඟුරු- කැබැල්ලක්
කරපිංචා ඉති කිහිපයක්
සුදු ළූණු බික් 8-10ක්
ගම් මිරිස් ඇට 5ක් පමණ
දෙහි බෑයක්
මී පැණි

සාදා ගන්නා ආකාරය

මී පැණි සහ දෙහි හැර ඉහත දැක්වූ අමුද්‍රව්‍ය  හොඳින් සෝදා පිරිසිදු කරගන්න. සුදු ළූණු සහ ඉඟුරු මඳක් තලා ගන්න. ඉන් පසු අමුද්‍රව්‍ය සියල්ල මැටි බඳුනකට දමන්න. මෙයට පිරිසිදු ජලය කෝප්ප 5ක් පමණ දමා විනාඩි 10ක් පමණ මඳ ගින්නේ තම්බා ගන්න. තම්බාගත් ඖෂධ පානය දුඹුරු පැහැයෙන් දිස්වේ.මෙය ලිපෙන් බාගෙන මඳක් නිවෙන්නට හරින්න. මඳ රස්නය තිබියදී වීදුරුවකට හෝ කෝප්පයකට පෙරා ගන්න. එයට දෙහි බෑයක් මිරිකා ගන්න. එයටම පැණි රස අවශ්‍ය පමණට පිරිසිදු මී පැණි එක්කර ගන්න. මෙය උදෑසන අවදි වූ විගස ජලය වීදුරුවක් පානයකොට විනාඩි 15 කින් පමණ බීමට සුදුසුය. උදෑසන බෙඩ් ටී එක වෙනුවට මෙවන් ගුණදායී ඖෂධීය පානයක් බීමට පුරුදු වුවහොත් බොහෝ රෝග වලින් ගුණ ලැබිය හැක. එමෙන්ම රෝග හට ගැනීමෙන් ද වැළකිය හැක. 

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here