හෘදයාබාධ අවදානම කල්තියා හදුනා ගන්න

ගතවන ක්ෂණයක් පාසා ඔබගේ ජීවිතයේ සුරක්ෂිත බව පිළිබඳව ඔබට සහතිකයක් ලබා දිය හැකිද? කුමන මොහොතක කුමන ආකාරයකින් ඔබගේ ජීවිතයට තර්ජනයක් එල්ලවේදැයි අවම වශයෙන් ඔබවත් නොදන්නවා විය හැකියි. එවැනි අවධානම් තත්ත්ව අතර හෘදයාබාධ සඳහා හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්.

හෘදයාබාධයක් යනු කුමක්ද?

නම ඇසූ පමණින්ම බොහෝදෙනෙක් බියට පත් කරවන සුලු මෙය ඉතා භයානක රෝගී තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ දියුණු නොදියුණු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල පවා බහුල වශයෙන් දක්නට ලැබේ.

අප සියලුදෙනා අතුරින් 33%ක් එනම් සෑම තිදෙනෙකුටම එක් අයෙක් අවසානයේදී මියයන්නේ හෘද රෝග හෝ අංශභාගය නිසාවෙනි. එමෙන්ම අකාලයේ සහ ක්ෂණිකව සිදුවන මරණ බොහෝමයකට හේතුවන්නේ හෘදයාබාධයන්ය. ඒ නිසා හෘදයාබාධ වළක්වා ගැනීමට කළ යුතු දේ පිළිබඳව සියලුදෙනාම දැන සිටිය යුතු අතර ඊට අවශ්‍ය පියවර ගත යුතු වේ.

හෘදයාබාධ වැළඳෙන්නේ කෙසේද?

හෘදය අප මිය යන තෙක් කිසිම දිනෙක නොනැවතී ක්‍රියාත්මක වන ඉන්ද්‍රියකි. එහි ප්‍රධාන කාර්යය, ශරීරය පුරා ඇති අනෙකුත් ඉන්ද්‍රියයන්ට නොකඩවා රුධිරය සැපයීම මඟින් ඒවායේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමයි.

මෙමඟින් ඔක්සිජන් සහ අනෙකුත් පෝෂක සැපයීමත් ඉන් නිපදවෙන අපද්‍රව්‍ය (යූරීන්, ඇමෝනියා වැනි) ඉවත් කිරිමත් සිදු වේ. නමුත් මෙසේ නොකඩවා ක්‍රියාත්මක වීමට හෘදයට ද නොනවතින රුධිර සැපයුමක් අවශ්‍ය වේ. මෙම රුධිර සැපයුම සිදුවන්නේ වම් සහ දකුණු කිරීටක ධමනි මඟිනි.

කිරීටක ධමනි යනු හෘදය මතුපිට දිවෙන හෘද පේශියට රුධිරය සපයන රුධිර නාල වේ. මෙම රුධිරනාල කාලයක් ගත වනවිට කොලෙස්ටරෝල් බැඳී රුධිර ගමනය අවහිර විය හැකියි. මෙවැනි අවහිරතා ඇති ස්ථානයක රුධිර කැටියක් සිරවීම නිසා රුධිර වාහිනියේ රුධිර ගමනය ක්ෂණිකව ඇණ හිටීමෙන් හෘදයේ කොටසක් මිය යා හැකි වේ.

හෘදයාබාධයක් ලෙසින් හැඳින්වෙන්නේ හෘද කොටසකට හානි සිදුවීමයි. එම හානිය සුළු හෝ විශාල විය හැකි අතර ඒ නිසා ඇතිවන රෝග ලක්ෂණ තීරණය වන්නේ මෙසේ සිදුවන හානියේ ප්‍රමාණයට අනුවය.

හෘදයාබාධයකට මුහුණ දුන් අය අතුරින් 20% ක් පමණ දෙනා ඒ මොහොතේම මරණයට පත්වීමට ඉඩ ඇත. තවත් සමහරදෙනා හෘදයාබාධ හේතුවෙන් ඇතිවන සංකූලතා නිසා මිය යනු ලැබේ. ඉතිරි අයට ක්ෂණික ප්‍රතිකාර ලබා දීමෙන් හෘදයට සිදුවිය හැකි හානිය අවම කර නැවතත් යථා තත්ත්වයට පත් කරගත හැකි වේ.

හෘදයාබාධයක් ඇතිවීමට බලපාන ප්‍රධාන හා අවදානම් සාධක මොනවාද?

අධිරුධිර පීඩනය, දියවැඩියාව, රුධිර ගත කොලෙස්ටරෝල්, දුම්පානය හා තමාගේ පවුලේ සමීපතම ඥතීන්ට අඩු වයසින් හෘදයාබාධ ඇති වී තිබීම ආදිය හෘදයාබාධ වැළඳීමේ ප්‍රධානතම අවධානම් සහිත සාධක වේ.PROMOTED CONTENT

ඒ නිසා පවුලේ යම් අයෙකුට මෙවැනි අවධානමක් තිබේ නම් ඔබ වැඩිපුර ප්‍රවේසම් විය යුතු අතර ඉහත රෝග ඇත්නම් ඒවා පාලනය කර පවත්වා ගත යුතුයි.

හෘදයාබාධයක් නිසා ඇතිවන රෝග ලක්ෂණ?

කලාතුරකින් කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව වුවද හෘදයාබාධ වැළඳිය හැකි වේ. නමුත් බොහෝ අවස්ථාවලදී පපුවේ හරිමැද ඇතිවන තද කැක්කුම, වේදනාව හෝ හිරිවැටීමක් හෘදයාබාධයක ප්‍රධාන රෝග ලක්ෂණ විය හැකියි.

මේ වේදනාව බෙල්ල දෙසට හණුව, උරහිස් හෝ වම් බාහුව දෙසට ගමන් කළ හැකි වේ. මෙහිදී ඇතිවෙන තද කැක්කුමත් සමඟ අධික දහඩිය, ක්ලාන්ත ගති ඇතිවීම, වමනය, ඔක්කාරය ඇතිවීම හෘද ස්පන්දනය දැනෙන්ට පටන් ගැනීම ආදී ලක්ෂණ ඇතිවිය හැකියි.

කිරීටක ධමනි අවහිරවීමෙන් ඇතිවන ඇන්ජයිනා කැක්කුම රෝගියා විනාඩි දෙක තුනක් විවේක ගත්විට හෝ දිවයට තබා ගන්නා නයිට්ට්‍රේට පෙති භාවිතයෙන් සමනය වේ. නමුත් හෘදයාබාධයක් නිසා ඇතිවන කැක්කුම විවේක ගැනීමෙන් හෝ නයිට්ට්‍රේට් පෙති භාවිතයෙන් සමනය නොවේ. ඒ නිසා ඔබට ඇතිවිය හැකි පපුවේ කැක්කුම මිනිත්තු 10 -15ක් නොකඩවා පැවතුණොත් වහාම ළඟම ඇති රෝහලකට යා යුතු වේ.

හෘදයාබාධ අවදානම කල්තබා හඳුනාගන්නේ කෙසේද?

එසේ හඳුනාගැනීමට විවිධ පරීක්ෂණ ඇති නමුත්, පහසුම මෙන්ම සරලම පරීක්ෂණ වන්නේ ව්‍යායාම ඊ.සී.ජී (ඡ්.ඛ්.ට්) පරීක්ෂණයයි. නමුත් මේ පරීක්ෂණය මඟින් වුවත් හෘදයාබාධ අවධානමක් ඇති ද යන්න පිළිබඳ සියයට සීයක් ස්ථිරව නිගමනයකට එළඹිය නොහැකි වේ.

හෘදයාබාධ වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද?

මූලිකව ඔබට දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීම වැනි හෘදයාබාධයකට තුඩු දෙන අවධානම් සාධක ඇත්නම් ඖෂධ හා ආහාර මඟින් එම තත්ත්වයන් හොඳින් පාලනය කළ යුතුයි. එවැනි අවධානම් තත්ත්වයේ නොසිටින අය අවම වශයෙන් වසරකට වරක් වත් රුධිරගත සීනි, කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ පරීක්ෂා කරගත යුතු වේ.

මාස 6 කට වරක් රුධිර පීඩනය මැන බලා ගැනීම මඟින් ද රෝග අවධානමක් ඇතිදැයි පරීක්ෂා කරගත යුතු වේ. එවැනි ගැටලු තිබේ නම් නිසි වෛද්‍ය උපදෙස්වලට අනුව කටයුතු කිරීම ද ඉතා වැදගත් වේ.

ඔබ ඉහත රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් නොකඩවා සායනවලට සහභාගී වීම, වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වී රුධිරගත සීනි, කොලෙස්ටරෝල් මට්ටම් පාලනය වී ඇතිදැයි තහවුරු කරගත යුතුයි. ඊට අමතරව කෙරෙන තවත් පරීක්ෂණ හරහා ඖෂධ ලබා ගැනීමෙන් සිදුවන අතුරු ආබාධ පිළිබඳව ද විමසා බැලිය යුතු වේ.

දුම්පානයෙන් මුළුමනින්ම ඉවත්විය යුතු අතර දුම්පානය කරන තැනැත්තන් අසල සිටීමෙන් පවා වැළකිය යුතු වේ.

ඔබගේ වාහනයේ, නිවසේ දුම්පානයට තහනම් ස්ථාන බවට පත්කර ගන්න.

ඒ වගේම දිනකට විනාඩි 45ක පමණ කාලයක් ඉක්මනින් ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම, ගෙවත්තේ වැඩ කටයුතුවල නිරත වීම බැට්මින්ටන් වැනි සරල ක්‍රීඩාවකද නිරත විය හැකි වේ.

තෙල්, ලුණු, සීනි අධිකව අඩංගු ආහාර හැකි තරම් සීමා කළ යුතු වේ. එළවළු, පලතුරු, මාළු, පරිප්පු, ධාන්‍ය වර්ග වැනි හිතකර ආහාර වැඩි ප්‍රමාණයක් එක්කර ඔබගේ ආහාර වේල සකසා ගැනීම මඟින් හෘදයාබාධ අවදානමින් තොර නිරෝගි දිවියක් හිමි කරගත හැකි වේවි.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here