ඕනෑම පෙදෙසක පහසුවෙන් වැවෙන, මුළු තැන් ගෙයි මිදුළුවල ඉබේටත් පැළවෙන, උත්සව කෑම මේසයක අසලකටවත් නො ගැනෙන, කැකිරි , විස්මිත ගුණැති ඖෂධයක්. එළවළුවක් පලතුරක් සේම, වැංජනයක් රස කරගැන්මට යොදන පොල් කිරට ආදේශකයක් සේ ද. බහුකාර්ය සේවාවක නියැළෙන සුවිශේෂ වැල් ශාක පලයක් . රෝගයට ඖෂධ වෙනුවට රෝගයට ආහාර යන තේමාව ට, වඩාත් ගැලපෙන්නක්. හේන් කැකිරි, සීනි කැකිරි ලෙස ප්‍රධාන ප්‍ර භේද දෙකකින් යුතු කැකිරි යකඩ, කාබොහයිඩ්‍රේට්, මැග්නීසියම් පොටෑසියම්, කෙඳි සීනී ආදි පෝෂක අඩංගු, මේදය රහිත, ජලය සහිත පලයක් . හේන් කැකිරි වෑංජනයක් සේ ආහාරයට ගැනෙන අතර සීනි කැකිරි වෑංජනයට ගත හැකිවුවත් වඩාත් ප්‍රයෝජනයට ගැනෙන්නේ පලතුරක් ලෙසයි, කැකිරි ග්‍රෑම් 2.5 ක් ගැනීමෙන් දිනකට සිරුරට අවශ්‍යවන යකඩ හා හා මැග්නීසියම් අවශ්‍යතා සපුරාගත හැකියි. පිළිකා නාශක ප්‍රති ඔක්සිකාරක ගුණැති කැකිරි බෝ නොවන රෝග වලින් ඈත්ව සිටීමට උපකාරිවනවා. දියවැඩියා ව අධිරුධිර පීඩනය හර්දයාබාධ මුත්‍රා ආබාධ, වකුගඩු අම්ල පිත්ත රෝග සමනය කර දෙනවා. මානසික ආතතිය, දුරලා සුව නින්ද ක් ලබා දීමටද සහායවනවා. වියලි කලාපයේ බහුලව වැවෙන කැකිරි ,එහි පරිසර තත්ත්වයෙන් පීඩාවට පත්වන ජනතාව සුවපත් කිරීමට සොබා දහම ලබා දී ඇති වටිනා තෑග්ගක් සේ සැළකෙනවා. එය වෑංජනයක් සේ මෙන් ම බීමක් සේ ද පිළියෙළ කරගත හැකියි . ලවණ අධික කිවුල් ජලය පානයෙන් ඇතිවන මුත්‍රා පෙරීමේ අපහසුතා ඒ හා බැඳුණු මුත්‍රා හා වකුගඩු ගල් සෑදීම ආදි උවදුරුවලින් බේරා ගැනීමේ ශක්තිය කැකිරි සතුයි.

මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදි මුත්‍රා රෝගවල දී කැකිරි සිරුරට සහන සලසනවා. කැකිරි ඇට බැද අහුර බැගින් වරින්වර කෑමෙන් නිතර මුත්‍රා පහවීමේ අපහසුතාව දුරු කර ගත හැකි බව සඳහන්. දාහය නිවාගැනීමට බෙහෙවින් පලදායක වන සීනි කැකිරි , සීනි අඩුමාව නිසා දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි. කෘත්‍රිම රසායන යොදා ඉදවිය නො හැකිවීම නිසා අහිතකර වන්නේත් නැහැ. විජලනයට එය කදිම ඔසුවක්. විජලනය ඇතිවන අතීසාර අවස්ථාවේ පවා පරි භෝජනයට සුදුසුසේ සැලකෙනවා. අම්ල පිත්ත රෝගය ට (ගැස්ට්‍ර යිටිස් ) සීනි කැකිරි දිව ඔසුවක් සේ සැලකෙනවා, බඩ දැවිල්ල නැතිකර උදර ආම්ලිකතාව හා පිත් ස්වභාවය එමගින් අවම කර දෙනවා පිත්තාශ ගල් සෑදීම වළකා ලනවා . සිරුරේ විෂ නැතිකර ලේ පිරිසිදු කර දෙනවා. පොල් නැතිවිට පොල්කිරි වෙනුවට යොදා ගත හැක්කේ කැකිරි ඇටයි. පිසින්නට ගන්නා කැකිරිවල ඇට දුමෙහි තබා තියා, අවශ්‍යවිට අහුරක් ගෙන ඇල්දියෙන් අඹරා දිය කොට වෑංජනය පිසීමට කිරි සේ යොදා ගැනෙනවා. මේ කිර සුවිශේෂ ඖෂධීය ගුණයෙන් යුතුයි. පෝෂ්‍ය පදාර්ථ ලැබීම, බෝ නොවන රෝගවලින් වැළකීම මෙන් ම මුත්‍රාශයේ අශ්වරී ගල් දියවීම එමගින් සිදුවනවා. මුත්‍රා ගල් ඇති අයට සුවයට ත්, නැති අයට ඉන් වැළකීමටත්, කැකිරි පිසින විට ඇට එකතු කරගැන්ම සුදුසුයි. ඇට, අඹරා හෝ බ්ලෙන්ඩරයෙන් කොටා,ගෙන වෑංජනයටම එක්කරගන්න. එසේ නැත්නම් කබලේ බැද කුඩුකර වෑංජනය බිමට බානවිට එක්කරන්න.

Suggestions

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here